ආදරණීයයන් වෙනුවෙන් ඔබත් සිතුවිලි පාලනය කරන්නෙක්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

ආදරණීයයන් වෙනුවෙන් ඔබත් සිතුවිලි පාලනය කරන්නෙක්ද

ආදරණීයයන් වෙනුවෙන් ඔබත් සිතුවිලි පාලනය කරන්නෙක්ද

එක් දිනක් ඇතුළත ඔබේ සිතට කොපමණ සිතුවිලි දැනෙනවාද. එසේ ඇතිවන සිතුවිලි නිසා ඔබේ සිත තුළ සතුට, දුක, තරහ වැනි විවිධ හැඟීම් වලට අනුව ඔබ ක්‍රියා කරන්නට ද ඇත. එවිට ඔබට ඇතිවන ක්ෂණික මානසික තත්වයන් පාලනය කළ යුතු බව ඔබ දන්නවාද. විශේෂයෙන්ම ඔබගේ පවුල තුළ ජීවත්වීමේ දී ඔබට ඇතිවන සිතුවිලි පාලනය කිරීම ඉතාමත් වැදගත්.

 

පුද්ගලයන් වශයෙන් ඔබට විවිධ අවශ්‍යතා ඇති වන්නට පුළුවනි. එනම් ආහාර, ජලය, වාතය යන මූලික අවශ්‍යතාවන් වලට අමතරව නිවාස, ඇඳුම් පැළඳුම් ,අධ්‍යාපනය, ආරක්ෂාව ,ආදරය වැනි වෙනත් අවශ්‍යතාවන් ද වේ. ඔබගේ අවශ්‍යතාවන් පූරණය නොවූ විට ඔබට අයහපත් සිතුවිලි ඇති වීම සාමාන්‍ය දෙයකි. මෙහිදී ඔබ විසින් හොදින් තේරුම් ගත යුත්තේ ඔබගේ අවශ්‍යතාවන් පූරණය කිරීමට පවුලේ අනෙකුත් සාමාජිකයන් විවිධ අයුරින් සහභාගි වන බවයි. ඔබගේ දෙමාපියන් ඔබගේ ආහාර, ඇඳුම් පැළඳුම් වැනි අවශ්‍යතා සපුරා දීම සඳහා නිරන්තරයෙන්ම වෙහෙස මහන්සි වී කටයුතු කරයි. ඒ සඳහා ඔවුනට සහාය වීමට ඔබට ද වගකීමක් පවතින බව තේරුම් ගැනීමට හැකියාවක් ඔබට තිබීම අත්‍යාවශ්‍ය වේ. පවුලක් තුළ ජීවත් වන විට සම්පූර්ණ කිරීමට සිදුවන විවිධ අවශ්‍යතාවයන් බොහෝමයක් පවතී. මූලික අවශ්‍යතා, යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය, සමානාත්මතාවය, ආත්මාභිමානය, යහපත් මානසික සහ ශාරීරික තත්ත්වය, ආතතිය පාලනය, විවිධ අත්දැකීම් ලබා ගැනීම සඳහා අවස්ථාව, සාධාරණත්වය යනාදිය එම විවිධ අවශ්‍යතාවයන් කිහිපයකි. පවුලක් තුළ ඇති මෙබඳු අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට පවුලේ සාමාජිකයන් සාමූහිකව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. උදාහරණයක් ලෙස මූලික අවශ්‍යතා අතරින් ආහාරපාන සපයා ගැනීමට අවශ්‍ය මුදල් පියා සහ මව සපයන අතර පිරිසිදුව සැකසූ ආහාර ද පිරිසිදු ජලය ද ඔබට ලබාදීමට දෙමාපියන් වෙහෙසෙනු ඇත. පිරිසිදු වාතය සහිත නිවසක් ලබාදීමට, ඇඳුම් පැළඳුම් සැපයීමට දෙමාපියන් උනන්දු වෙති. හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ද එසේ ම උනන්දු වෙති. ඔබේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳව මෙන්ම ඔබට ආදරය ,කරුණාව ලබා දීම පිළිබඳවත් දෙමාපියන්ගේ අවධානය නිරන්තරයෙන්ම යොමු කරති.

 

ඔබට නිරෝගිව සිටීමට උදවු වන අතර ලෙඩ රෝග ඇති වූ විට ඖෂධ ලබාදීමෙන් ද රැක බලා ගැනීමෙන්ද ශාරීරික හා මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට දෙමාපියන් විසින් දරුවන්ට සහය වෙති. තවද ඔබට ආත්ම අභිමානයෙන් යුතු යහපත් පුරවැසියකු වීමට අවශ්‍ය අඩිතාලම පවුල තුළින්ම ලැබේ. ඒ සඳහා ඔබේ හැකියාවන් හඳුනාගෙන සුදුසු ඉලක්ක කරා ළඟාවීමට අවස්ථා සම්පාදනය කිරීම, හැකියාවන් අගය කිරීම දෙමාපියන් මෙන්ම සොයුරු සොයුරියන් අතින් ද සිදුවේ. ආහාර, ඇඳුම් පැළඳුම් වැනිදෑ බෙදා ගැනීමේදී සියලු දෙනාගේ අවශ්‍යතාවන් එක සේ සලකා සමානාත්මතාවයෙන් කටයුතු කිරීම පවුලක් තුළ වැදගත් වේ. සියලු දෙනාටම සාධාරණව එක ලෙස සැලකීමේ මූලික සංකල්පය ඔබ මුලින්ම ඉගෙන ගන්නේ ඔබගේ දෙමාපියන් සහ වැඩිහිටියන්ගෙනි. ඔබේ ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ වන අතර ඔබේ අවශ්‍යතා පූර්ණය කිරීම සඳහා පවුලේ අනෙකුත් සාමාජිකයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා මෙන්ම ඔබද එයට සහයෝගය ලබාදිය යුතුය. ඔබ විසින් ආදරය, කරුණාව පවුලේ අයට ලබා දිය යුතුය. එසේම කණ්ඩායමක් ලෙස වැඩ කටයුතුවලදී කිරීමේදී එකිනෙකාට උදව් කර ගත යුතුය. තරහ, දුක වැනි ආතතිමය අවස්ථාවලදී අනිත් අයට කරදරයක් නොවන ලෙස අවබෝධයෙන් කටයුතු කිරීම ද ඉතාමත් වැදගත්. පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ ක්‍රියා කිරීමේදී ඔබගේ සිතිවිලි පාලනය කර ගැනීම ඔබේ පවුලේ සතුට, සමගිය හා දියුණුව රැකගැනීම සදහා ඉවහල් වේ. මේ සඳහා අන් අයගේ අදහස් තේරුම්ගෙන ඉවසා කටයුතු කිරීමත් ,අන් අදහස් වලට ගරු කිරීමත්, ගැටලුසහගත අවස්ථාවන්හිදී නිවැරදි තීරණ ගැනීමත් අත්‍යවශ්‍යයි.

 

පවුලේ වෙනත් සාමාජිකයකු ගැටලුවකට මුහුණ දෙන අවස්ථාවලදී ඔවුන්ට එය විසඳා ගැනීමට සහාය වීම ද ඔබ විසින් කළ යුතු වේ. ඔවුන්ගේ ගැටලු දුක් වේදනාවන් වලට සවන් දීමද කළ යුතුයි. ආර්ථික අපහසුතා වැනි දුෂ්කරතා ඇති වූ අවස්ථාවලදී පවුලේ සෑම දෙනාම සහයෝගයෙන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් මෙම අවස්ථා වලට සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ලැබේ. පවුලේ සාමය, සතුට හා සදාචාරාත්මක භාවය රැක ගත හැකි වන්නේ එවිටයි. නිවස තුළ එනම් ඔබගේ පවුල තුළ විවිධ අවස්ථාවන්වලදී ක්‍රියාකළ ආකාරය සාර්ථක හෝ අසාර්ථක දැයි පසුව විමසා බැලීම මගින් අනාගතයේ ඇතිවිය හැකි ගැටලු වලට මුහුණදීමට පෙර හුරුවක් ද ඔබට නිසැකවම ලැබෙණු ඇත.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

771 Views

Comments

arrow-up