ඔබගේ කැමැත්තත් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයටද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

ඔබගේ කැමැත්තත් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයටද

ඔබගේ කැමැත්තත් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයටද

වර්තමානය වන විට බොහොමයක් දෙනා මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට දැඩි ලෙස යොමුවීමේ ප්‍රවණතාවක් ලොව පුරාම දක්නට ලැබේ. නමුත් මෙවැනි ක්ෂේත්‍රයකට පැමිණීමට පෙර ඒ පිළිබඳව ලැබිය යුතු මූලික අධ්‍යාපනික සහ ප්‍රායෝගික පුහුණුව ලබා සිටීම ඉතාමත් වැදගත්. එවිට ඔබට සාර්ථක ලෙස එම ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන්නට හැකියාවක් ලැබෙනු ඇත. ඇතැම් අය තමාගේ කුඩා කල සිටම මෙම ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන අතර නිර්මාණාත්මක කලාව, සංස්කෘතිය, සිතුවම්කරණය, සිනමාව සහ සංගීතය කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන මෙන්ම දැඩි රුචිකත්වයක් දක්වන තරුණ තරුණියන්ට මෙම ක්ෂේත්‍රය හොඳින් ගැලපේ. මෙවැනි ක්ෂේත්‍රයකට පිවිසීමට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීමට පවතින ක්‍රමවේදයන් පිළිබඳව ඔබගේ දැනුවත්භාවය කෙබඳුද.


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔබ මෙවැනි ක්ෂේත්‍රයක නියැලීමට කැමැත්තක් දක්වන්නේනම් ඒ සඳහා නිර්මාණය කරන ලද උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකා මොරටුව විශ්ව විද්‍යාලයේ පවත්වනු ලැබේ. එනම් මෝස්තර නිර්මාණවේදී ගෞරව උපාධි පාඨමාලාවයි. මෙම උපාධි පාඨමාලාව වසර හතරක් හැදෑරිය යුතුයි. විලාසිතා නිර්මාණය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල් ගණනාවකම වැඩි ඉඩකඩක් වෙන් වුණු ක්ෂෙත්‍රයක් වශයෙන් ද පෙන්වා දිය හැකියි. ඔබ මෝස්තර නිර්මාණ ශිල්පයට පිවිසීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට එම උපාධි පාඨමාලාව සඳහා අයදුම් කල හැකියි. ශ්‍රී ලංකා මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයෙන් උපාධි පාඨමාලාව සඳහා සිසු සිසුවියන් පනස් දෙනෙකු පමණ තෝරා ගන්නා අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී ඕනෑම විෂයන් තුනකට අවම වශයෙන් සම්මාන සාමාර්ථ ලබා සමත් වන සිසු සිසුවියන්ට මේ සඳහා අයදුම් කළ හැකි යි. ඊට අමතරව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව යන විෂයන්ට අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් ලබා තිබීම අත්‍යවශ්‍යයි. ඔබ කලා විෂයය ධාරාවෙන් චිත්‍ර විෂය ඇතුළු විෂයයන් තුනක් හදාරා උසස් පෙළ සමත් වුණු ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම් සාමාන්‍ය පෙළ විභාගයෙන් මුලින් කී සුදුසුකම් ඔබත් සපුරා තිබෙනවා නම් ඔබටත් මෙම පාඨමාලාවට අයදුම් කල හැකියි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කාරණාවක් පවතී. විලාසිතා නිර්මාණකරණය සහ නිපැයුම් ප්‍රවර්ධනය උපාධි පාඨමාලාව හැදෑරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ පසුව සිසුසිසුවියන්ගේ මනාප සහ ප්‍රථම වසර ප්‍රතිඵල අනුව විලාසිතා නිර්මාණය සහ රෙදිපිළි නිර්මාණකරණය යන ක්ෂේත්‍ර දෙකෙන් එකක ඉදිරි අධ්‍යාපන කටයුතු වල නිරත කෙරේ. එම පාඨමාලාව නිම කළ පසු සිසු-සිසුවියන්ට ගෞරව උපාධි පාඨමාලාව ලැබිය හැකිය.

 

 

විලාසිතා නිර්මාණකරණය යටතේ පර්යේෂණ, සංකල්ප සංවර්ධනය, පතරොම් කැපීම, ඇඟලුම් තාක්ෂණය, අලෙවිකරණය යනාදී කුසලතා වර්ධනය කිරීමක් සිදුකරනු ලබයි. තවද මෙම පාඨමාලාවෙහි පවතින විශේෂත්වය වන්නේ වත්මන් වෙළඳපොලේ පවතින වාණිජ අරමුණු සහ සිසුන්ගේ ස්වාධීන නිර්මාණශීලී හැකියාවන් එකට කැටිකර රැකියා වෙළඳපොල ඉල්ලුමට සරිලන වෘත්තිකයන් බිහි කරන ආකාරයෙන් නිර්මාණය කර තිබීමයි. මොරටුව විශ්ව විද්‍යාලයෙන් පවත්වනු ලබන පාඨමාලාවට සුදුසුකම් නොලබන සිසුන්ට පෞද්ගලික අධ්‍යයන ආයතනවල උපාධි පාඨමාලාවක් හැදෑරීමට වුවද හැකියාවක් පවතී. ඔබත් මෝස්තර ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වන්නට සිහින දකිනවා නම් අනිවාර්යෙන්ම මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට අමතක නොකරන්න. එවිට ඔබට එම ක්ෂේත්‍රයේ බොහෝ දුරක් යන්නට අවශ්‍ය පසුබිම නිතැතින්ම නිර්මාණය වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1897 Views

Comments

arrow-up