කවුද මේ පහේ පොතේ ට්‍රැෆික් ආච්චී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

කවුද මේ පහේ පොතේ ට්‍රැෆික් ආච්චී

කවුද මේ පහේ පොතේ ට්‍රැෆික් ආච්චී

කෙනෙකුගෙ ආත්ම ශක්තිය සහ කැපවීම ඔහුගේ හෝ ඇයගේ වයසින් මනින්නට නොහැකි බව ලෝකයාට ම පසක් කළ ඇය නමින් ලිලී වයලට් මහත්මියයි. පහ ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ පාරකියන අත්තම්මා නමින් පාඩමක් ද මෙම වසරේ මුද්‍රණය කර දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් බෙදා දී ඇත්තේ ලිලී වයලට් මහත්මියට කරන උපහාරයක් වශයෙනි. ඇයගේ ජීවිත කතාව පිළිබඳව මෙතැන් සිට දිගහරිමු.

 


සිය එකම දියණිය හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයට සිප්සතර හැදෑරීමට ඇතුළත් කිරීමට 1980 වර්ෂයේ ජනවාරි මස දිනක පැමිණි අවස්ථාවේදී මාර්ගයේ දරුවන් සහ මවුපියන් එහා මෙහා පනින මාර්ගය මත ඇයගේ දෙනෙත නතර විය. එදින සිට අද දක්වාම දශක හතරකට ආසන්න කාලයක් උදැසනම ඔසරියකින් සැරසී කුමන අසනීප තත්ත්වයක් තිබුණද නිවසෙන් එන ඇය කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේ පිහිටි පදික මාරුවේ සිට දරුවන් මවුපියන් පාර මාරු කරවයි. ඇය විසින් මෙම ස්වේච්ඡා සේවයට පැමිණෙන්නේ ඇයට වයස අවුරුදු 40 වන විටදීය. අද වන විට අසූ දෙවැනි විය දක්වා තමාගේ සේවය මහා මාර්ගය තුළ සැපයුව ද ඇයට කිසිදු හෝ දීමනාවක් ලබා දීමට රජය ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. ඇගේ ගම කෑගල්ල පරගම්මන නම් ප්‍රදේශය යි. එම ප්‍රදේශයේ සියලුම අය ඇයව හඳුන්වන්නේ ට්‍රැෆික් ආච්චි යන ආදරණීය සහ සුහදශීලී නමිනි. වෘත්තියෙන් රියැදුරෙකු වූ තරුණයෙකු සමඟ විවාහ වූ ඇය තම නිවසේදීම කුළුදුල් දියණිය බිහි කළාය. දියණියට වයස අවුරුදු තුනක් පමණ වන විට ඇගේ සැමියා රිය අනතුරකින් මියගියේය. දියණිය ඇතුළත් කළ පාසල පිහිටියේ කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ හෙට්ටිමුල්ල මාකුර ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ ය. මෙම මාර්ගය ප්‍රධාන මාර්ගයක් වන අතර දිනකට වාහන විශාල ප්‍රමාණයක් ගමන් කරයි.

 

එම හේතුවෙන් දරුවන් පාසලට ඇරලවන්න පැමිණෙන මවුපියන් තම දරුවන් සමඟ මහ පාරේ එහාට මෙහාට රථවාහන අස්සෙ ද ගමන් කරන අයුරු දින කිහිපයක් පසෙකට වී ඇය බලා සිටියාය. එතැන් පටන් උදෑසන 6. 30 ට පමණ පාසල ළඟට පැමිණෙන ඇය පාරේ ගමන් කරන වාහන හැසිරවීමට පටන් ගත්තාය. සතුටට කාරණයක් නම් එදින සිට අද දක්වා වසර 40ක කාලයක් තුලදී එම ස්ථානයේ කිසිදු රිය අනතුරක් සිදු නොවීමයි. ඈ අත නිතරම කෝටුවක් පවතී. කිසියම් වාහනයක් අධික වේගයෙන් ධාවනය කළ හොත් එහි අංකය මතක තබා ගන්නා ඇය පසුදාට ඔහුට එය තේරුම් කරන්නටද අමතක නොකළාය. පාසල් බස් රථවල රියදුරු මහත්වරු මෙන්ම මාර්ගයේ ධාවනය වන සියලුම රථ වාහන වල රියදුරුවරු ඇගේ අණ ඉවත නොදමා කටයුතු කරන ආකාරය සියලු දෙනාටම ආදර්ශමත් විය. 5 ශ්‍රේණියේ සිංහල පෙළ පොතට ඇගේ ජීවිත කතාව ඇතුළත් කිරීමත් සමගම බොහෝ පාසල් වලින් ඇයට පැමිණෙන ලෙස ඇරයුම් ලැබෙයි. පසුගිය දිනකදී රුවන්වැල්ල රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයට, කෑගලු බාලිකා විද්‍යාලයට, මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට, කෑගල්ල හකහින්න ප්‍රාථමික විද්‍යාලයට පැමිණ දරුවන්ට සතුටක් ලබා දෙන්නට තරම් ඇය නිහතමානී වූවාය. එහිදී ගුරුවරුන් සහ දරු දැරියන් ඇයව ඉතාමත් ඉහළින් පිළිගන්නා ලදී. වාසනාවකට කරුණක් නම් 82 හැවිරිදි වියේ පසුවූවද ඇයට කිසිදු රෝගාබාධයක් අද වෙනතුරුත් නොමැති වීමයි. ඇත්තෙන්ම ඇය ශ්‍රේෂ්ඨ කාන්තාවකි. ශ්‍රී ලාංකීය කාන්තා පරපුරටම ඉමහත් ආඩම්බරයකි. අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ ජීවිතයම කැප කළ ලිලී වයලට් මහත්මිය නැතහොත් ට්‍රැෆික් ආච්චී වෙනුවෙන් යම් දෙයක් කිරීමට හැකියාවක් ඇත්නම් එය කෙතරම් අපූරුද. කෙතරම් වටිනවාද.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

1010 Views

Comments

arrow-up