ඉපැරණි ලෝක පුදුම හත - 3
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

ඉපැරණි ලෝක පුදුම හත - 3

ඉපැරණි ලෝක පුදුම හත - 3

ග්‍රීසියේ ඔලිම්පියාහි සියුස් දේව ප්‍රතිමාව

 

ග්‍රීසියේ ඔලිම්පියාහි සියුස් දෙවියන්ගේ ප්‍රතිමාව පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස ලැයිස්තු ගත වී ඇත. මෙය දැව භාවිත කර නිමවා ඇති අතර සැරසීම සඳහා රත්‍රන්, ඇත් දළ, ලෝකඩ සහ විදුරු යනාදිය භාවිත කර ඇත. නමුත් වර්තමානයේ මෙම ප්‍රතිමාව සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බැවින් අපට එහි සුන්දරත්වය හෝ කලාත්මකභාවය අත්විඳීමට කිසිදු අවකාශයක් නැත.  කෙසේ වෙතත් එහි ඉතිහාසය තරමක් ප්‍රකට ය. මෙම ප්‍රතිමාවේ නිර්මාතෘවරයා වන්නේ ඇතීනියානු මූර්ති ශිල්පියෙකු වන ෆිදියාස් නමැත්තෙකි. ඔහු එය ක්‍රි.පූ. 436 දී නිර්මාණය කර ඇත.

 

ක්‍රි.පූ අටවන සියවසේ සිට පෙලෝපොනිස් හි බටහිර කොටසේ පිහිටා තිබු ඔලිම්පියා නගරය පුරාණ ග්‍රීසියේ වැදගත් සංස්කෘතික මධ්‍යස්ථානයක් විය. එය පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේ තිඹීරිගෙයයි. ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව මෙම නගරය දෙවිවරුන්ගේ දෙවියන් වන සියුස් දෙවියන්ගේ  රැකවරණය යටතේ පැවත ඇත. 5 වන සියවසේදී සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද දේව මාළිගාවක් එම නගරයේ වූ අතර ඉතා විශාල මෙම නව දේව මාළිගයට ඊට සරිලන විශාලත්වයකින් යුත් දේව පිළිමයක් අවශ්‍ය විය. එබැවින් එය සියුස්ගේ ප්‍රතිමාව ඉදි කිරීමේ මූලාරම්භයේ වන්නට ඇති බවට විශ්වාස කෙරේ.

 

 

 

 

මෙම පිළිරුව සවිස්තරාත්මකව විස්තර කිරීම දුෂ්කර ය. මන්දයත් එහි කිසිවක් දැනට  ශේෂ වී නොමැති හෙයිනි. කෙසේ වෙතත්, ඉතිහාසගත ලේඛනවලට අනුව මෙම ප්‍රතිමාව මීටර් 13 ක් උසින් යුක්ත බවට සැලකේ. එහි ඇඳුම්, රැවුල සහ හිසකෙස් රන්වන් පැහැයෙන් යුක්ත වන අතර ශරීරයේ පැහැපත් බව මැනවින් විදහා දැක්වීමට ඇත්දළවලින් නිමවා ඇත. හිස මත රිදීවලින් සාදන ලද ඔලිව් කොළ ඔටුන්නක් තිබී ඇත. ප්‍රතිමාවේ සළු පිළි දීප්තිමත් වර්ණ මෝස්තර වලින් සරසා ඇත.වර්තමානයේ  එහි ස්වභාවය අනුමාන කරමින් ඇඳ ඇති සිතුවම්වලට අනුව ඔහුගේ දකුණු අතේ ජයග්‍රහණයේ සංකේතය වන Nike දෙවඟන දරා සිටින අතර  වම් අතින් රාජාලියෙකු විසින් රඳවා සිටින යෂ්ටියක්ද අල්ලාගෙන සිටි. මිට පෙර ඉදි කරන ලද පැරණි සියුස් නිරූපණයන් මෙන් නොව, ෆිදියාස් මෙම ඔලිම්පියාහි සියුස් දෙවියන්ගේ ප්‍රතිමාව සන්සුන් බව ,ජයග්‍රාහී බව හා බලවත් බව  විදහා දැක්වීමට තැත් කර ඇත. 

 

ඔලිම්පියාහි සියුස් ප්‍රතිමාව විනාශ වූ ආකාරය පිළිබඳව මත කිහිපයක් පවතී. සමහරෙක් පවසන්නේ එය උල්කාපාතයක් වැටීමෙන් විනාශ වූ බව වන අතර තවත් සමහරෙක් තර්ක කරන්නේ එය පස්වන සියවසේදී දේවමාළිගාව සමඟ විනාශ වූ බවයි. තවත් මතයක් වන්නේ  එය කොන්ස්ටන්ටිනෝපල් නගරය වෙත ගෙන ගොස් ඇති බවත් එහි ඇති වූ විශාල ගින්නකින් එය විනාශ වී ගිය බවයි. කෙසේ වෙතත් එය අතීත කලාකරුවන්ගේ හා පුරාණ ග්‍රීසියේ ප්‍රෞඩත්වය ලොවට කියා පෑමට ගත් අගනා උත්සහයක් වන්නට ඇති බව නොඅනුමානය.

 

 

by Sajini Ishanthi

Photo Sourec: Internet

 
views

683 Views

Comments

arrow-up