වාණිජ බැංකු සතු තැන්පතු වර්ග පිළිබඳව දැනුවත් වෙමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

වාණිජ බැංකු සතු තැන්පතු වර්ග පිළිබඳව දැනුවත් වෙමු

වාණිජ බැංකු සතු තැන්පතු වර්ග පිළිබඳව දැනුවත් වෙමු

පුද්ගලයන් වශයෙන් දෛනික වැඩ කටයුතු රාශියක් ඉටුකර ගැනීම සඳහා අප විවිධ වාණිජ බැංකු සමග ගනුදෙනු පවත්වා ගනියි. එහිදී වාණිජ බැංකු ගිණුම් වර්ග පිළිබඳව දැනුවත් වී සිටීම ඉතාමත් වැදගත්. පුද්ගලයන්ට කැමති විටෙක මුදල් තැන්පත් කිරීමටත් එම තැන්පතු ආපසු ලබා ගැනීමටත් හැකියාව ඇති ගිණුම් විශේෂයකි ඉතිරි කිරීමේ ගිණුම්. මෙම ගිණුම් සදහා යම් නිශ්චිත පොලියක් අදාල ගිණුම් හිමියාට ගෙවනු ලැබේ. මේවා තනිව හෝ බද්ධ ගිණුම් වශයෙන් ද ආරම්භ කළ හැකියි. වර්තමානයේ දී වාණිජ බැංකු විසින් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වලට අමතරව මුදල් තැන්පත් කළ හැකි පරිදි විවිධ නම් යටතේ විශේෂ ඉතිරිකිරීමේ ගිණුම් හඳුන්වා දී ඇත. ඉතිරිකිරීමේ තැන්පතු සඳහා බැංකුව විසින් පාස් පොතක් ලබාදෙන අතර එවැනි පාස් පොතක මුදල් තැන්පත් කරන හෝ ආපසු ලබා ගන්නා දිනය, විස්තරය, තැන්පතු ආපසු ගැනීම් සහ ශේෂය පැහැදිලිව දැක්වේ. ළමා ඉතිරි කිරීමේ ගිණුම්, කාන්තාවන් සඳහා වන ගිණුම්, අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු, ධන ආයෝජන ඉතිරි කිරීමේ ගිණුම් උදාහරණ වශයෙන් පෙන්වා දිය හැක.

ඉතිරි කිරීමේ තැන්පතු වල ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉතිරි කිරීමේ හුරුපුරුදු ඇති කරවීමත් දේශීය ඉතුරුම් මට්ටම ඉහළ නැංවීමත් වේ. විශේෂයෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, බාලවයස්කාර ගිණුම්, ඉතුරුම් නිවාස ණය ගිණුම්, තිලිණපත් යන ආදී විවිධ තැන්පතු පවත්වාගෙන යනු ලබයි. සුළු මුදලකින් ආරම්භ කළ හැකි වීමත් තම තැන්පතු සඳහා රජයේ පූර්ණ රැකවරණයක් පැවතීමත් ඉහළ පොලී ආදායමක් හිමිවීමත් මෙම තැන්පතු තුළින් ගනුදෙනුකරුවන්ට අත්වන වාසි කීපයකි. ඉතිරි කිරීමේ බැංකුව වශයෙන් 2008 වර්ෂයේදී ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව පිහිටවනු ලැබීය.

 

 

 


වාණිජ බැංකු සතු තවත් තැන්පතු විශේෂයකි කාලීන නැතහොත් ස්ථාවර තැන්පතු. පුද්ගලයන්ට අවදානම අඩු සුරක්ෂිත ලාභදායී ආයෝජන මාර්ගයක් ලෙස තමා අතිරික්ත මුදල් ස්ථාවර තැන්පතු වල යොදවන්නට පුළුවනි. මෙම තැන්පතු වල කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. එනම් නිශ්චිත කාලසීමාවක් වෙනුවෙන් තැන්පතු පවත්වාගෙන යාම, තැන්පතු කාලය සහ මුදල අනුව ලැබෙන පොලිය වෙනස් වීම, සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වලට වඩා වැඩි පොලියක් හිමිවීම, පොලිය මාසිකව හෝ කල් පිරුණු පසුව හෝ ගිවිසගත් පරිදි ලබාගත හැකිවීම, ස්ථාවර තැන්පතුව ඇපයට තබා තැන්පතුවෙන් එක්තරා ප්‍රතිශතයක් ණය මුදලක් ලෙස ලබා ගත හැකි වීම යනාදියයි. ස්ථාවර තැන්පතුවක දී වාණිජ බැංකු විසින් ගිණුම් හිමියාට සහතික පතක් පිරිනමනු ලැබේ. කාලීන තැන්පතුවක මුහුණත නිරීක්ෂණය කළ විට එහි තැන්පත් කරුගේ නම, මුදල, කල්පිරෙන දිනය, වාර්ෂික පොලී ප්‍රතිශතය, බැංකුවේ නම සහ ලිපිනය ආදී තොරතුරු දැකගත හැකියි. බොහෝවිට සිය දෛනික වැඩ කටයුතු වාණිජ බැංකු හරහා සිදු කරනු ලබන පුද්ගලයන්ට මෙවැනි කරුණු පිළිබඳව දැනුවත් වී තිබීම ඉතාමත් වැදගත්. එවිට වඩාත් නිවැරදිව මෙන්ම කාර්යක්ෂමව තම බැංකු කටයුතු පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

1028 Views

Comments

arrow-up