ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය පිළිබඳව දැන්වත් වෙමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය පිළිබඳව දැන්වත් වෙමු

ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය පිළිබඳව දැන්වත් වෙමු

සේවා නියුක්තිය යනු කිසියම් අවස්ථාවක ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් විවිධ ආර්ථික කාර්යයන් වල නියැලී සිටීමයි. සේවා නියුක්ති ජනසංඛ්‍යාව යනු සමීක්ෂණය පවත්වන දිනයට පෙර සතිය තුළ අවම වශයෙන් පැයක්වත් යම් ආර්ථික ක්‍රියාවලියකට සේවකයෙකු, සේවායෝජකයකු, ස්වයං රැකියා කරන්නෙකු හෝ වැටුප් නොලබා පවුලේ ආර්ථික ක්‍රියාවකට දායක වූවෙකු ලෙස සිටින පුද්ගලයන්ය. සේවා නියුක්තිය රටේ මුළු නිෂ්පාදන මට්ටම සහ ශ්‍රම සූක්ෂමතාවයෙහි තරම යන සාධක දෙක මත තීරණය වේ. සේවා නියුක්ති අනුපාතය යනු සේවා නියුක්ති ජනසංඛ්‍යාව ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කල විට ලැබෙන අගයයි. ශ්‍රී ලංකාවේ සේවා නියුක්ති ජනගහනය විවිධ සේවා නියුක්ති කාණ්ඩ මත කොටස් හතරකින් සමන්විත වෙයි. එනම් සේවකයින්, සේවායෝජකයන්, ස්වයං රැකියාවල නියුක්තිකයන් සහ ගෙවීමක් නොලද පවුලේ ශ්‍රමිකයන් වශයෙනි.

සේවා නියුක්තිය විධිමත් සහ නොවිධිමත් යනුවෙන් වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි බව ඔබ දන්නවාද. රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික සමාගමික සහ ව්‍යාපාරික වතු ක්ෂේත්‍රවල පවතින සේවා නියුක්තිය විධිමත් සේවා නියුක්තියයි. ශ්‍රී ලංකාවේ විධිමත් සේවා නියුක්තිය මුළු සේවා නියුක්තියෙන් තුනෙන් එකක් පමණි. ශ්‍රමය ප්‍රධාන වශයෙන් යොදා ගනිමින් සාපේක්ෂ වශයෙන් අඩු ප්‍රාග්ධනයක් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යෙදී සිටින පුළුල් පරාසයකට අයත් පුද්ගලයන් සහ කුටුම්භ වලින් නොවිධිමත් අංශය සමන්විත වී තිබේ. පහසුවෙන් ප්‍රවේශ විය හැකි, අඩු සම්පත් ප්‍රමාණයක් භාවිතා කරන, පවුලේ හිමිකම යටතේ පවත්නා, ශ්‍රම සූක්ෂම කුඩා පරිමාණයේ නිෂ්පාදන ඒකක වලින් සහ ස්වයං රැකියාවල නියුතු වූවන් සහ පවුලේ ශ්‍රමිකයන් ලෙස ක්‍රියාකරන බොහෝ දෙනෙක් මෙම අංශයට ඇතුළත් වේ. තවද මෙහි සේවා නියුක්තිකයන් විධිමත් අංශයට සාපේක්ෂව දැඩි අවදානමක් දරයි. ඔවුනට ලැබෙන ප්‍රතිලාභ සාපේක්ෂව අඩු අතර ගිවිසුම් වල සුරක්ෂිතතාවයක් නොමැත. වැඩකරන පරිසරය ද අවදානම් වන අතර ඔවුන් හමුවේ ඇති අවස්ථා විරලයි. ශ්‍රී ලංකාවේ කෘෂි අංශයේ සේවා නියුක්තිකයන් ගෙන් වැඩි ප්‍රමාණයක්ම නොවිධිමත් අංශයට අයත් වේ.

 

 

 


කෘෂිකාර්මික කටයුතු වලට අමතරව නිමි ඇඳුම් සැකසීම, පැදුරු විවීම, කොහු සැකසීම, ලණු ඇඹරීම, රසකැවිලි නිෂ්පාදනය වැනි දේ මෙම අංශයේ සුලබ නිෂ්පාදන ක්‍රියාකාරකම් වේ. මුදල් ණයට දෙන්නන්, තැරැව්කරුවන්, පදික වෙළඳුන්, ත්‍රිරෝද රථ රියැදුරන් වැනි සේවයක් සපයන්නන්ද මෙම අංශයට ඇතුළත් වේ. එමෙන්ම මත්පැන් මත්කුඩු වැනි නීතිවිරෝධී ආර්ථික ක්‍රියාවන්වල යෙදෙන්නන්ද මෙම අංශයට අයත් වේ. ආණ්ඩුවේ නියාමනයන් ගෙන් ගැලවීමටත්, අර්ථසාධක අරමුදල් සේවා භාරකාර අරමුදල් වැට් බදු ගෙවීම් යනාදියෙන් වැළකීමටත් ඇතැම් අය නොවිධිමත් අංශයේ නිරත වී සිටිනු දක්නට ලැබේ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

5427 Views

Comments

arrow-up