වෙළෙඳපොළ ඉල්ලුම පිළිබඳව ඔබ දැනුවත්ද

යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල අනෙකුත් කරුණු නොවෙනස්ව තිබිය දී කිසියම් භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට කැමති සහ හැකියාව ඇති විවිධ භාණ්ඩ ප්‍රමාණයන් වෙළෙඳපොළ ඉල්ලුම වශයෙන් සරලවම හඳුන්වන්නට පුළුවනි. මෙය සඵල ඉල්ලුම වශයෙන්ද හඳුන්වයි. සඵල ඉල්ලුම කරුණු තුනක ප්‍රතිඵලයකි. එනම් උවමනාව, ක්‍රය ශක්තිය සහ සැලැස්මයි.
සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල ගනන්, පාරිභෝගිකයන්ගේ ආදායම, පාරිභෝගිකයන්ගේ කැමැත්ත, අනාගත අපේක්ෂාවන් සහ ගැනුම්කරුවන් සංඛ්‍යාව යනාදී සාධක වෙළෙඳපොළ ඉල්ලුම තීරණය කරනු ලබයි. භාණ්ඩ සහ සේවා තෙරීමෙහිලා පාරිභෝගිකයෙකුගෙ සමස්ත හැසිරීම විස්තර කිරීම සහ පැහැදිලි කිරීම ඉල්ලූම් න්‍යායෙන් සිදුවන අතර කිසියම් භාණ්ඩයක නිශ්චිත අවස්ථාවක දී ඉල්ලුම තීරනය කරන අනෙකුත් සාධක නොවෙනස්ව තිබිය දී එම භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී අදාළ භාණ්ඩයේ මිල වෙනස් වන විට සිදුවන සාපේක්ෂ මිල වෙනස කෙරෙහි පාරිභෝගිකයා දක්වන ප්‍රතිචාරය ආදේශන ප්‍රතිවිපාකය යි. මුදල් ආදායම ඇතුළුව ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබිය දී සලකා බලන භාණ්ඩයේ මිල වෙනසක් නිසා හටගන්නා මූර්ත ආදායම වෙනස් වීම මත ඉල්ලූම් කරනු ලබන ප්‍රමාණයේ සිදුවන වෙනස් වීම ආදායම් ප්‍රතිවිපාකයයි.
අදාල භාණ්ඩයේ මිල හැර ඉල්ලුම තීරණය කරන අනෙකුත් ඕනෑම සාධකයක වෙනස්වීමක් නිසා භාණ්ඩයට ඇති සමස්ත ඉල්ලුම ඇතිවන වෙනස්වීම ඉල්ලුම වෙනස් වීම යනුවෙන් පෙන්වා දිය හැක. මෙහිදී සමස්ත ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට විතැන් වන අතර ඉල්ලුම් ලේඛනය සහ ඉල්ලුම් ශ්‍රිතය ද වෙනස් වේ. ආදේශක භාණ්ඩ වල මිල වැඩිවීම, අනුපූරක භාණ්ඩ වල මිල අඩුවීම, පාරිභෝගික ආදායම වැඩිවීම, පාරිභෝගික අභිරුචිය වැඩිවීම, අනාගතයේදී එම භාණ්ඩයේ මිල වැඩිවේ යැයි අපේක්ෂාව, ගැනුම්කරුවන් සංඛ්‍යාව වැඩිවීම යනාදී හේතූන් මත ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙයි. ආදේශක භාණ්ඩ වල මිල අඩුවීම, අනුපූරක භාණ්ඩ වල මිල වැඩිවීම, පාරිභෝගික ආදායම අඩු වීම, පාරිභෝගික රුචිය අඩුවීම, අනාගතයේදී එම භාණ්ඩයේ මිල අඩුවේ යැයි අපේක්ෂාව, ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩුවීම න ආදී කරුණු නිසාවෙන් ඉල්ලුම් වක්‍රය වමට විතැන් විය හැකිය. ඉල්ලුම් නම්‍යතාවය මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය වශයෙන් බෙදා වෙන් කළ හැකියි.
තාර්කික පාරිභෝගිකයන් වශයෙන් වෙළෙඳපොළ තුළ කටයුතු කිරීමේදී මෙවැනි කරුණු පිළිබඳව දැනුවත් වී සිටීම ඉතාමත් වැදගත්. එවිට ඔබටත් සාර්ථක ගැනුම්කරුවෙක් හෝ සාර්ථක විකුනුම් කරුවෙක් බවට පත්වීමට අවස්ථාව උදාවනු ඇත
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2560 Views
Comments