තොරතුරු දැනගැනීම ඔබෙත් මගෙත් අයිතියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

තොරතුරු දැනගැනීම ඔබෙත් මගෙත් අයිතියක්

තොරතුරු දැනගැනීම ඔබෙත් මගෙත් අයිතියක්

ලෝකයේ ප්‍රථම තොරතුරු පනත නීතිගත කරන්නේ මීට වසර 250කට පෙර ස්වීඩන් රාජ්‍යයයි. ඒ වර්ෂ 1766 දී Freedom of press Act හෙවත් පුවත්පත් නිදහස් පණත ලෙසයි. මෙම පනත කෙටුම්පත් කළ ස්වීඩනයේ සුප්‍රකට දේශපාලන චින්තකයෙකු වූ ඇන්ඩර්ස් චයිඩෙනියස් පවසන්නේ තොරතුරු නිදහස මානව හිමිකමක් ලෙසත් එය රාජ්‍ය වගකිවයුතු භාවයකට පත් කිරීමට උදව් කරන බවත්ය. එසේම රාජ්‍යය පුරවැසියන්ට රාජ්‍යය කරන්නේ කුමක්ද කියලා දැනගැනීමටත් රාජ්‍ය ලේඛන වල තොරතුරු දැනගැනීම සඳහා ප්‍රවේශ වීමට ඇති අයිතිය ලබා දෙනවා යනුවෙනි. එමෙන්ම ලෝකයේ තෙවැනි තොරතුරු පනත වර්ෂ 1966 දී freedom of information act හෙවත් තොරතුරු නිදහසේ පනත නීතිගත කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

 

එම පනත වර්ෂ 1966 ජූලි 4දා ඇමරිකානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එවකට ඇමරිකානු ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් මහතා කියා සිටියේ මෙම නීතිය පැනවීම මගින් අපගේ ඉතාම වැදගත් මූලධර්ම වලින් එකක් පැන නගින බවයි. එනම් ජාතියේ බලපත්‍රය ආරක්ෂා කරන සෑම තොරතුරක්ම ජනතාවට ලබාදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ඉතා විශිෂ්ට අයුරින් ක්‍රියාත්මක වන බවයි. තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනතාවට ඇති මානව හිමිකමක් බව මුළු ලොවටම කියා දුන් මූලාරම්භක තොරතුරු පනත් ඉදිරිපත් කරමින් ඒවාට පුරෝගාමී වූ පුද්ගලයා මුළු ලොවේම ජනතාවට ඇති පරම අයිතිය ගැන උත්තේජනයක් සපයනු ලැබුවේය.

එම නිසා මෙම අයිතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට නම් රටක සියලුම පුරවැසියන්ට අදාළ තොරතුරු වෙත බාධාවකින් තොරව පිවිසීමේ නිදහස තිබිය යුතුයි. ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ රාජ්‍යය යහ පාලනයෙහි නිදහස පිළිගන්නා රාජ්‍යයන් එකසිය විස්සක් පමණ මේ වන විට සිය පුරවැසියාට තොරතුරු දැනගැනීමේ අයිතිය අණපනත් ඔස්සේ නෛතිකවම ලබා දී තිබේ. මේ ආකාරයට රජයේ තොරතුරු දැන ගැනීම පුරවැසියා සතුව පවතින සමාජමය අයිතියක් වන බව පෙන්වා දෙන ප්‍රකාශනයක් මීට දශක හතරකට පමණ පෙර එනම්, වර්ෂ 1976 දී මුලින්ම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ වර්ෂ 1976 දී මෙක්සිකෝවේදී පැවති තොරතුරු පරිහරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී. එම සමුළුව සංවිධානය කළේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ලතින් ඇමෙරිකානු ආයතනයයි.

 


තොරතුරු යනු පුරවැසි අයිතියකි. එය කිසිවිටෙක වෙළඳ භාණ්ඩයක් නොවේ. එහි අරමුණ වන්නේ පුරවැසියා වඩ වඩාත් දැනුවත් කිරීමයි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ ප්‍රශ්න වලට අදාල සමාජ හා දේශපාලනික තත්ත්ව ගැන ඔවුන්ට පූර්ණ අවබෝධයක් ලබා දීමයි. එසේම තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සහභාගිවීමට ඔවුන්ට හැකියාව ඇති බව මුලුමනින්ම වටහා දීමයි. එසේම තොරතුරු සමාජ අවශ්‍යතාවක් වන නිසාම මානව අයිතිවාසිකම් පිළිබඳ පූර්ණ ක්‍රියාකාරිත්වයට එය අවශ්‍යම සාධකයක් වේ. එසේම තොරතුරු විමුක්තිය ලබා ගැනීමේ මෙවලමක්ද විය යුතුයි. මේ ආකාරයට පුරවැසියකු සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය, අදහස් පළ කිරීමේ නිදහස මාධ්‍ය නිදහස ආදිය පිළිබඳව ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් තුළම විවිධ අදහස් පළ වී තිබේ. එසේම මේ පිළිබඳව නොයෙකුත් වාද විවාද හා සංවාදද ඇති වී තිබේ. මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ සැබෑ තොරතුරු විෂයානුබද්ධ ලෙස ප්‍රකාශ කිරීමටත්, තොරතුරු නිදහසේ ප්‍රචාරය කර ගැනීමටත්, ඒවා ග්‍රහණය කරගැනීමටත් සමාන අයිතියක් තිබිය යුතුයි යන්නයි.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

680 Views

Comments

arrow-up