කම්කරු උසාවිය ගැන ඔබ දන්නවා ද

කම්කරු උසාවිය කම්කරු විනිශ්චයාධිකාරය ලෙසද හඳුන්වයි. 1957 අංක 62 දරන කාර්මික ආරවුල් පනතෙන් කම්කරු විනිශ්චයාධිකාරය යන ආයතනය බිහි කිරීම යෝජනා කරනු ලැබුවා. ඒ අනුව 1959 වර්ෂයේ සිට කම්කරු උසාවිය පිහිටුවනු ලැබුවා. කම්කරු උසාවියක ප්‍රධානත්වය උසුලනු අතිරේක මහේස්ත්‍රාත් නිලය දරන එහි සභාපතිවරයා විසින්. කම්කරු විනිශ්චයාධිකාරයකදී විසදිය හැකි කාරණා වන්නේ,
1. කැමැත්ත ඇතිව ආරවුල් බේරුම්කරණය
2. ඇමතිවරයා විසින් අනිවාර්ය බේරුම්කරණය යොමු කිරීම්
3. කම්කරුවකු විසින් අධිකරණ සේවා සමාප්තිය ගැන කරන ලද අයදුම්
4. කම්කරුවකු වෙනුවෙන් කිසියම් වෘත්තිය සමිතියක් කරන අයැදුමක්
ඉහත කාරණා වලින් 3 හා 4 ලෙස දක්වා ඇති අවස්ථාවන් දෙකම සේවා සමාප්තිය ගැන ප්‍රකාශ කරන අවස්ථාවන් වෙනවා. ඒ අනුව දැනට එම ආයතනයේ සේවය සිටින කම්කරුවකුට තමන් විසින් හෝ වෘත්තිය සමිතියක් හරහා ඒ ආයතනයට විරුද්ධව කම්කරු උසාවියට අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අයිතියක් නැහැ. කම්කරුවකු විසින් සේවා සමාප්තියක් ලෙස සැලකෙන අවස්ථාවන්හි සේවා සේවායෝජකයා විසින් කම්කරුවාගේ සේවය අවසන් කිරීම හා අනියම් සේවා සමාප්තිය කම්කරුවාට තවදුරටත් සේවයට පැමිණීමට නොහැකි වන සේ සේවායෝජකයා ක්‍රියාකර ඔහුට සේවය අතහැර යන ලෙස සැලැස්වී නම් එම අවස්ථා අනියම් සේවා සමාප්තිය ලෙස සැලකෙනවා.
මේ අවස්ථා දෙකෙහිදීම කම්කරුවන් විසින් කම්කරු උසාවියට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි. එම අයදුම්පත් සේවා සමාප්ති යෙන් මාස හයක් තුළ ඉදිරිපත් කළ යුතු වෙනවා. සේවා සමාප්තිය කළ ආකාරය ද එය සිදු වූ දිනය ද වැදගත් වන නිසා තමා සේවයෙන් නෙරපූ වහාම ළඟ ඇති පොලිස් ස්ථානය වෙත ගොස් සේවා යෝජකයන්ට එරෙහිව පැමිණිල්ලක් සිදු කිරීම වැදගත් වෙනවා. එසේම සේවකයන් සේවයෙන් නෙරපීමට තරම් බරපතළ වරදක් සිදු කළ විට ඔහුට විරුද්ධව වහාම පොලිසියට පැමිණිලි කිරීමට සේවායෝජකයන් පියවර ගැනීම වැදගත් වෙනවා. මොකද සේවකයන් නෙරපා හැරීම සාධාරණීකරණය කිරීමට මතු දිනකදී සේවායෝජකයාට සිදු වීමට බොහෝ ඉඩකඩ ඇති නිසයි.
කෙසේ වෙතත් සේවකයා සිය කැමැත්තෙන් සේවය හැර ගියේ නම් කම්කරු උසාවිය වෙතින් ප්‍රතිකර්ම ලැබීමේ අයිතියක් ඔහුට හිමිවන්නේ නැහැ. රජයේ සේවකයන් විසින්ද සමුපකාර සේවකයින් විසින්ද කම්කරු උසාවියට ඉල්ලුම් කළ නොහැකි වෙනවා. කම්කරුවකු විසින් හෝ කම්කරුවකු වෙනුවෙන් වෘත්තිය විසින් කම්කරු විනිශ්චය සභාවට අයැදුමක් ඉදිරිපත් කිරීමේදී කම්කරු ආරවුල් පනතේ වගන්තිවලට අනුව ඒ ඉල්ලීම සිදුකළ යුතු අතර 1983 පාරිතෝෂික පනතේ විධිවිධාන ද ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු වෙනවා.
කම්කරු උසාවියකින් ඉල්ලා සිටිය හැකි සහන වන්නේ
-සේවයේ නැවත පිහිටුවීම
සේවා සමාප්තිය සිදුවූ කාලයේ සිට නැවත සේවයේ පිහිටුවන දින දක්වා වැටුප් සමඟ සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටීම නීත්‍යානුකූල වෙනවා. නමුත් සේවය සිට කාලේ සිටි කාලෙදී ලැබීමට නියමිතව තිබූ හිග වැටුප් ඉල්ලීම කළ නොහැකි.
-නැවත සේවය පිහිටුවීමට විකල්පය ලෙස වන්දි මුදලක් නැවත සේවයේ පිහිටුවීම
සහනය ඉල්ලා නොසිට වන්දි ඉල්ලා සිටීම නීත්‍යානුකූල නොවේ. නමුත් සේවයේ පිහිටුවීම හා වන්දි ඉල්ලීම එකවර කල හැක.
-පාරිතෝෂික දීමනා
සේවකයන් පහළොවකට අඩු සංඛ්‍යාවක් සේවය කළ අවස්ථාවන් වලදී පමණක් පමණක් කම්කරු අධිකරණයට මේ සම්බන්ධයෙන් බලය ඇති අතර අනෙක් අවස්ථාවන් වලදී පරිකෂක සම්බන්ධ ගැටලු ගැටළු කම්කරු කොමසාරිස්වරයා වෙත යොමු කළ යුතු වෙනවා. එසේම සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත්ව ගිය කෙනෙකුට පවා පාරිතෝෂික පිළිබඳ ඉල්ලීමක් කිරීමට අයිතියක් තියෙනවා.
සේවකයන්ට සහන සැලසීමේදී කම්කරු උසාවියට පුළුල් බලතල හිමි වෙනවා. කම්කරු උසාවිය සාක්ෂි නීතියට දැඩි ව බැදී නැහැ. නමුත් එහි සාක්ෂි මෙහෙයවීම සිදු කරනුයේ හැකිතාක් දුරට සාක්ෂි නීතියට අනුකූලවයි. කම්කරු උසාවියේ නඩු අසන පිළිවෙල ඉදිරි දිනකදී දැනුවත් වෙමු.
by Dilki Shamani
Photo Source: Internet
1970 Views
Comments