හෙළයන් විසින් නිර්මිත වාරි සංස්කෘතියේ වගතුග

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා වී වගාවට අත්‍යවශ්‍ය වන ජල සම්පාදනයට මූලික අඩිතාලම වූ වැව් තැනවීම ලාංකේය රාජ්‍ය පාලකයන්ගේ වැදගත්ම රාජ්‍ය ප්‍රතිපත්තියක් වූ බව පෙනේ. අහසින් වැටෙන ජලය බිඳක්වත් ගොවිතැන් කරන කුඹුරු වෙත නොයවා අපතෙ යාමට ඉඩ නොහරින බවට මහා පැරකුම් රජතුමා ප්‍රතිඥා දුන් බව කියනු ලැබේ. වැව් සොළොසක් ඉදි කළ මහසෙන් රජතුමා දේවත්වයට පත් වූයේ මහසෙන් දෙවි යන පටබැඳි නමිනි. වැව් ඉදිකරමින් තම පණ නළ සේ වැදගත් කොට සහ ගෞරවනීය ලෙස වැව් ආරක්ෂා කළ රජ දරුවන් අතර වසභ මහසෙන් ධාතුසේන මුවන අග්බෝ දෙවන අග්බෝ සහ මහා පරාක්‍රමබාහු යන රජවරු ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුස්මරණීය වෙති.
ගංඟා හරස් කොට බැඳ ගත් අමුණු වල සිට ඇළ මාර්ග දිගේ රටේ ඕනෑම තැනක පිහිටි ගොවිබිමකට ජලය ගෙනයාම විස්මිත කාර්යයකි. එසේ ගොවි බිම් කරා ජලය ගෙන යාමේදී පුරාණ රජදරුවන් විසින් වරින් වර එම ඇළ මාර්ග දිගින් වැඩි කරන ලදී. එසේ මහවැලි ගඟ, අඹන් ගඟ, කලාඔය සහ මල්වතු ඔය හරස් කොට දීර්ඝ කරන ලද ඇළ මාර්ග වල මුළු දිග ප්‍රමාණය ගත් කල සැතපුම් 500 ද ඉක්මවා සිටී. මෙසේ ජලහරණයෙදී ඇළමාර්ග ජාලය සමඟ සම්පූර්ණ පරිසරයම බැඳිණි. කුඩා වැව්, වනවිල්, ගොවිබිම්, ගහකොළ, සතා සිවුපාවා, පක්ෂීන්, මසුන්, නෙළුම්, කෙකටිය ආදී පැළෑටි සමඟ ජීව අජීව සමස්ත පරිසරයම රටාවක් අනුව බැඳී තිබිණි. වාරි තාක්ෂණයේ මූලිකාංග වූ වැවක් බැඳ ගැනීම ලේසි කටයුත්තක් නොවේ. ඒ සඳහා ශ්‍රමිකයන් අතිවිශාල සංඛ්‍යාවක් අවශ්‍ය වේ.
වැව් බැඳීමට අතිදක්ෂ සිංහලයා ඉංග්‍රීසි හෝඩියේ එන C අකුරේ හැඩයට හෝ අඩ සඳ ලෙස සාදා ගත් බව රොබට් නොක්ස් ලියා තිබේ. වැව් ජලයෙන් පිරී යාම ඔවුන්ගේ අටුකොටු වී වලින් පිරී යෑමට සමානයි. වැව් කර්මාන්තය පහසු කාර්යයක් නොවේ. මෙරට රජ දරුවන් විසින් බඳින ලද වැව් සංඛ්‍යාව අතිවිශාලය යනුවෙන් රොබට් නොක්ස් තැබූ සටහන වැව ශ්‍රී ලාංකිකයාගේ පණ නල බව පසක් කරයි. වැව කුඩා වුවද ලොකු වුවද එහි තිබිය යුතු අනිවාර්ය අංග කිහිපයකි. වාන, පිටවාන, සොරොව්ව, ගොඩ සොරොව්ව, බිසෝකොටුව, රැළපනාව සහ තාවුල්ල එම අංග වෙයි. වැව් බැඳීමේදී පළමුවෙන් වැව් බැම්ම සකස් කෙරෙන අතර ඒ සඳහා පිහිටි පොළොව බදාගෙන එහි සිටි එහි පිහිටි පසට ගැලපෙන පස්සේ කිරීමෙන් කාර්යය ආරම්භ කරයි. වැවෙහි දියවර අවශ්‍ය වෙලාවට නිකුත් කිරීම සඳහා තනා ගෙන ඇති කපොල්ල සොරොව්ව යි. තරමක් විශාල වැව්වල සොරොව් දෙකක් ඉදි කෙරේ. වැවෙහි වතුර පිරී තිබෙන විට ගොඩ සොරොව්ව ඇර ජලය බෙදා දීම සිදුකෙරේ. වැවේ වතුර තරමක් අඩු වූ තැන් සිට ප්‍රධාන සොරොව්ව ප්‍රයෝජනයට ගැනේ.
සශ්‍රීකත්වය පතා සෑම වැවකටම පාහේ සිදු කරනු ලබන මුට්ටි නැමීමේ මංගල්‍යය ද ප්‍රධාන අභිචාරාත්මක පූජා කර්මයකි. නෙමෙයි රාජකාරිය නැතහොත් මුල් මංගල්‍යය නමින් ගැමි වහරේ එන මෙය මුට්ටි නැමිල්ල නමින් පොදුවේ හඳුන්වයි. අයියනායක දෙවියන් ප්‍රධාන කොටගෙන පවත්වනු ලබන වැව ආශ්‍රිතව සිදු කෙරෙන මෙම අභිචාර විධිය වටා වටිනා ගැමි සංස්කෘතික ලක්ෂණ රාශියක් දැකගත හැක්කේ එම පූජා කර්මය සිදු කෙරෙන අනුපිළිවෙළ නිරීක්ෂණය කිරීමෙනි. මුට්ටි නැමීමේ චාරිත්‍රය සදහා තෝරාගනු ලබන්නේ වැව් බැම්මේ දිය කෝල් බඩ පිහිටි ජලයට නැමුනු පූජනීය ගසකි. ගසේ අතු වල අගිසි කොටස එකම මට්ටමකට කපා එහි අඩියක පමණ කොටස පොත්ත ඉවත් කර ඒ මත මහත් ගෞරවාදර සහිතව මුට්ටි නැමීම සිදු කෙරේ. ජන සංස්කෘතියට වැව කෙතරම් සමීපව තිබේදැයි යන්න වැව යන්නෙන් අවසන් වන ග්‍රාම නාමවලින්ම අනාවරණය වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1306 Views
Comments