වයලිනයේ උපත
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

වයලිනයේ උපත

වයලිනයේ උපත

පෙරදිග ශාස්ත්‍රීය සංගීතයේ මෙන්ම බටහිර සංගීතයේද කැපී පෙනෙන සංගීත භාණ්ඩයක් වන වයලීනයේ උපත අවුරුදු 400 ක් පමණ අතීතයට දිව යයි. ඒ හා සමාන කම්බි සහිත සංගීත භාණ්ඩ අවුරුදු 1000 කට ආසන්න කාලයක් තිස්සේ ලොව පුරා විවිධ ශිෂ්ටාචාරවල භාවිතයේ පැවතී ඇත. නව වන සියවසේ යුරෝපයේ හමු වූ ලීරා නම් වූ සංගීත මෙවලම, අරාබියේ කම්බි දෙකකින් යුතු වූ රබාබ් නම් සංගීත මෙවලම මෙන්ම 11 වන සියවසේදී බටහිර යුරෝපයට හඳුන්වා දුන් කම්බි තුනකින් යුතු අරාබි සංගීත මෙවලමක් වූ රෙබෙක් ආදිය ඒවාට උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒවායෙහි අභාෂය ගෙන වර්තමාන වයලීනයේ උපත සිදු වන්නට ඇතැයි බොහෝ ඉතිහාසඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් ලොව පළමු වයලීනය නිපදවීම සඳහා ගෞරවය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ ඉතාලි ජාතිකයෙකු වන ඇන්ඩ්‍රියා අමාතිට ය. එය එතැන් සිට නූතන වයලීනය දක්වා විකාශනය වීම ක්‍රමයෙන් සිදු වුවක් වන අතර අද අප දන්නා වයලීනයේ තත්වයට පැමිණීමට සියවස් කිහිපයක් ගත වී ඇත.

 

16 වන සියවසේ මැද භාගයේ සිට දහඅටවන සියවසේ මුල් භාගය දක්වා උතුරු ඉතාලියේ ලොම්බාර්ඩියා ප්‍රදේශයේ ක්‍රෙමෝනා නම් කුඩා නගරය වයලීනය නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය වූ අතර වයලීන සාදන්නන් විසින් අතීතයේ මෙන්ම වර්තමානයේද ප්‍රිය කරන මේපල් සහ ස්පෘස් නම් ලී වර්ග දෙක ලොම්බාර්ඩි කලාපයේ පහසුවෙන් ලබා ගත හැකි වීම මිට ප්‍රධාන හේතුව වන්නට ඇතැයි සැලකේ. එහි වයලීන නිපදවූ සෑම පවුලක්ම තමන්ගේම ආවේණික නිෂ්පාදන ක්‍රමවේදයන් සකස් කළ අතර ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයද විය.

 

එලෙස උපත ලැබූ වයලීනය මුල් කාලයේ යුරෝපයේ වංශවත් ජනතාව කේන්ද්‍ර කරගෙන ජනප්‍රිය වුවද 18 සහ 19 වන සියවස් වන විට යුරෝපය පුරා පමණක් නොව ලොව පුරාම අතිශයින් ජනප්‍රිය විය. දහනව වන සියවස වන විට යුරෝපය පුරා වයලීන විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම සිදු වුණි.

 

 

වර්තමානය වන විට සාමාන්‍ය වයලීනය පමණක් නොව වඩා වැඩි දියුණු කළ නවීන විදුලි හා විද්‍යුත් ධ්වනි වයලීනද කරලියට පැමිණ ඇත. ඉතා මිහිරි, ප්‍රසන්න හෝ අතිශය වේදනාත්මක, හැඟීම්බර ආදී පුළුල් පරාසයක විහිදුන මනෝභාවයන් ඇති කිරීමට සමත් සංගීත ඛණ්ඩ වාදනයට වයලීනයට ඇති සුවිශේෂී හැකියාව නිසාම වර්තමාන වාද්‍ය වෘන්දවල ප්‍රධාන මෙන්ම නොවරදින සංගීත මෙවලමක් ලෙස වයලීනය දක්නට ලැබේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

2229 Views

Comments

arrow-up