කාන්තාවකට නිසි තැන ඇයට දෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

කාන්තාවකට නිසි තැන ඇයට දෙන්න

කාන්තාවකට නිසි තැන ඇයට දෙන්න

පසුගිය දිනක ලෝක කාන්තා දිනය ලොව පුරා රටවල් ගණනාවක උත්කර්ෂවත් අන්දමින් සැමරූ බව ඔබ රූපවාහිනියෙන් හෝ අනෙකුත් සමාජ ජාලා වෙබ් අඩවි තුලින් දකින්නට අසන්නට ඇති. නමුත් කාන්තාවකට ඇයට ලැබිය යුතු නිසි තැන සමාජයේ ලැබෙනවද. අපි අද ඒ ගැන කතා කරමු.


මෙලොව ජීවය රඳා පවතින්නේ කාන්තාවන් නිසාවෙනි. කාන්තාවන් නොමැති කල සමාජයකට පැවැත්මක් නොමැත. ලෝකයටම අරුණැල්ල රැගෙන එන හිරුටත් කලින් නිවසට ආලෝකය රැගෙන එන්නී අම්මා නැතහොත් නිවසේ ගෘහණියයි. එතැන් පටන් දවසේ කටයුතු ආරම්භ කරමින් ස්වාමියාගේ කටයුතුත් දරුවන්ගේ කටයුතුත් නිවසේ වැඩපළත් අවසන් කර රැකියාවකද නියැලෙන කාන්තාවන් වර්තමාන සමාජයේ බොහෝමයක් දක්නට ලැබේ. කාන්තා දිනය සමරන්නට ශ්‍රී ලංකාවේ දැන් වසර ගණනාවක් තිස්සේ විවිධ කටයුතු සංවිධානය කර ඇත. එදා කාන්තාවෝ නැගී සිටියේ පැය අටක වැඩ මුරයක් වෙනුවෙනි. එහෙත් අදටත් කාන්තාවන් පැය අටක වැඩ දිනයට හිමිකම් නොලබති. සමාජයේ සියලූ මට්ටම්වල කාන්තාවන් මුහුණදෙන ප්‍රශ්න බොහෝ විට ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පොදු ප්‍රශ්න වන බව ඔබ දන්නවාද. එහෙත් කාන්තාවන්ට පොදු ප්‍රශ්න නැතිවාම නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයෙකු වූ ගාලි වරක් ප්‍රකාශ කර තිබුණේ සමාජය පක්ෂියෙක් නම් එහි පියාපත් වන්නේ ගැහැනුන් සහ පිරිමින් බවයි. ගැහැනුන් සහ පිරිමින් සමානව ශක්තිමත් නොවන්නේ නම් සමාජය සමබර ලෙස ඉදිරියට යා නොහැකි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත. රුසියාවට කාන්තා දිනය වරුවක් නිවාඩු දිනයකි. එදිනට ගෙදර වැඩ කරන්නේ පිරිමින්ය. යුරෝපීය රටවල දුම්රියට කාන්තා මැදිරි අවශ්‍ය නැත. ඔවුන් එකිනෙකාට ගෞරව කරති. එම නිසා ඇත්ත වශයෙන්ම ඔවුන්ට කාන්තා දිනයක් අවශ්‍ය නොවේ. රැකියාවේ යෙදෙන මව්වරුන් සියලු දෙනා ගැන අධ්‍යනයක් කළහොත් පෙනී යන කාරණයක් වන්නේ ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයකගේ ඉපැයීම් වලින් සියයට සීයක් දරුවන් වෙනුවෙන් ගෘහය වෙනුවෙන් වැය කරන බවයි. විශේෂයෙන් කම්කරු කාන්තාවන් ගැන මේ තත්ත්වය විශේෂ වන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ස්වාමියා මත්පැනට ඇබ්බැහි වී සිටින්නන් වන බැවිනි. රැකියාව ගෙදරදොර වැඩ දරුවන් හදා වඩා ගැනීම මෙන්ම ගෘහස්ථ හිංසනයෙන් ද බැට කන කාන්තාව සමාජයේ පීඩන රැසකට ලක් වී සිටීම අවාසනාවන්ත තත්වයකි. මෙහිදී කැපී පෙනෙන දෙයක් වන්නේ අඩු වැටුපකට කාන්තාවන් සේවය කිරීමයි. සාධාරණ වැටුපක් ලැබෙන්නේ නම් ඔවුන් විඳින පීඩාව යම්තාක් දුරකට අවම වනු ඇත. සෞඛ්‍ය සේවය අධ්‍යාපනය ඇතුළු අංශ ගණනාවක සේවය කරන පිරිමි සංඛ්‍යාව අභිබවා කාන්තාවන් ගොස් ඇතත් ඉහළම මට්ටමේ රැකියා රාශියක සිටියත් තීන්දු තීරණ ගන්නා මට්ටමේ කාන්තාවන් නැත්තෙ මන්ද යන ප්‍රශ්නය පැනනැගී ඇත.

 

 

කාන්තාවන්ට ඇති ප්‍රශ්න මොනවාදැයි ඇසූ කල ඔවුන් කියා සිටින්නේ අද ඇති ප්‍රධානම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්න බවයි. ආධාර මානසිකත්වය අද වන විට කාන්තාවන් අතර බහුලව පවතින තත්ත්වයක් ලෙස දැකිය හැකියි. ආධාර වෙනුවට තමන්ගේ උත්සාහයෙන් නැඟී සිටීමට කාන්තාවන්ට ශක්තිය ධෛර්යය ගෙනදීම යුගයේ අවශ්‍යතාවයයි. තනිව නැගී සිටිය හැකි ආර්ථික වැඩපිළිවෙලක් සකස් කිරීම කළ හැකිනම් මැදපෙරදිග රටවල් වල වැඩකරන කාන්තාවන් සියලුම දෙනා යළි මව්බිම වෙත පැමිණෙවි. ලොවක් පවතින්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලින් යැයි මැක්සිම් ගෝර්කි පවසා ඇත. කාන්තාවකට ආරක්ෂාව අවශ්‍ය වන්නේ පිරිමින් ඔවුන් පිටස්තරයන් ලෙස දකින තාක් පමණි. ඇයට නිසි තැන ලබාදීම මුළු මහත් ජාතියක් වශයෙන් අප විසින් සිදු කළ යුතුම වන්නේය.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

636 Views

Comments

arrow-up