දැදිගම ඇත් පහන

දොළොස්වන සියවසට අයත් වන ලෝක ප්‍රසිද්ධ දැදිගම ඇත් පහන ශ්‍රී ලංකාවේ පස් වන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ මෙරට පැවති තාක්‍ෂණික දියුණුව සහ විශිෂ්ට කලා හැකියාව පිළිබඳ ලොවට කියා පෑමට සමත් වන අද්විතීය පුරා වස්තුවකි.
මහා පරාක්‍රමබාහු රජු ඉපදුනු ස්ථානය ස්මරණය කිරීම සඳහා ඉදි කල ස්ථුපයක් ලෙස සැලකෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම සුතිඝර චේතියෙහි (කොට වෙහෙර ) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1951 වර්ෂයේදී කරන ලද කැණීම්වලින් එහි ධාතු කුටියේ කොන් හතරේ පහන් හතරක් තැන්පත් කර තිබූ බව සොයාගෙන ඇති අතර ඉන් දෙකක් මෙම ඇත් පහන් වන අතර අනෙක් දෙක නෙළුම් මල් පොහොට්ටුවට සමාන පහන් වේ. එම කැණීම්වලදී සොයාගත් බුදු පිළිම ඇතුළු පුරාවස්තු සියල්ල දැදිගම කොට වෙහෙර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
මෙම ඇත් පහන දම්වැලක් ආධාරයෙන් එල්ලිය හැකි ආකාරයෙන් නිමවා ඇති අතර එහි නිර්මාණ ශිල්පියා අඥාතය. උක් දණ්ඩක් හොඩින් ගත් ඇතෙකුගේ පිට මත මිනිසුන් දෙදෙනෙක් නැඟ සිටින ආකාරයෙන් මෙම ලෝකඩ පහන නිමවා ඇත. ඇතාගේ හොඩ ඉදිරිපස පාදවලට සවි වන සේ නිමවා ඇති මෙහි ඇතාගේ උදරයේ කුහරය තෙල් ගබඩා කර ගැනීමට හැකි වන සේ සකසා ඇත. ඇතාගේ ඉදිරිපස දකුණු පාදය එම කුහරයට තෙල් පිරවීම සඳහා පුනීලයක් ලෙස සකසා ඇත.
මෙම ඇත් රූපය තෙල්වලින් පුරවා ගත හැකි වෘත්තාකාර තැටියක් මැද පිහිටා ඇත. මෙම තැටියේ එක කෙළවරක පහන් තිරය දමා දැල්වීමට හැකි වන සේ නිමවා ඇත. එම තැටියේ තෙල් මට්ටම ඇතාගේ පාදයේ පිහිටි සිදුරේ මට්ටමට වඩා පහළට යන විට, ජල ස්ථිතික මූලධර්ම මත පදනම් වූ යාන්ත්‍රික උපක්‍රමයක් මඟින් ඇතාගේ පිටිපස පිහිටි තවත් සිදුරකින් තෙල් බින්දු වශයෙන් ගලා එයි. එමඟින් තැටියේ තෙල් මට්ටම නැවත ඇතාගේ පාදයේ මට්ටමට ළඟා වන අතර අවශ්‍ය මට්ටමට ළඟා වූ පසු තෙල් ගලායාම ස්වයංක්‍රීයව නතර වේ.
මෙම පහන එල්ලීමට භාවිත කරන ලෝකඩ දම්වැල පවා නර්තන ශිල්පියෙක්, කයිතාලම වයන්නෙක් සහ බෙර වාදකයෙක්ගේ රූපවලින් අලංකාර කර ඇති අතර එම දම්වැල ඇත් රුවට ඉහලින් ඇති මකර තොරණට සවි කර ඇත. එහි සිංහ රුප හා මකර හිස් වලින් අලංකාර කරන ලද මකර තොරණ හා අරුක්කුවද නිර්මාණකරුවාගේ විශිෂ්ට කලා කුසලතාවයන් මැනවින් විදහා දක්වයි.
by Sajini Ishanthi
Photo Source: Internet
19900 Views
Comments