ශ්‍රී ලංකාවටත් නූතන කලා කෘති රැසක් සහිත කෞතුකාගාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

ශ්‍රී ලංකාවටත් නූතන කලා කෘති රැසක් සහිත කෞතුකාගාරයක්

ශ්‍රී ලංකාවටත් නූතන කලා කෘති රැසක් සහිත කෞතුකාගාරයක්

කිසියම් රටක අභිමානය ලොවට විදහා දක්වන අංගයකි එම රටේ පවතින විශිෂ්ට ගණයේ ලා සැලකිය හැකි නූතන කලා කෘති. එවැනි කලා කෘති සුරක්ෂිතව තබා ගැනීමට කිසියම් හෝ ආයතනයක් නොපවතී නම් එම කලා කෘති අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ පවතින නූතන කලා කෘති ආරක්ෂා කරගැනීමට මෙන්ම මහජන ප්‍රදර්ශනය සඳහාද එවැනි ආයතනයක් බිහි වී ඇති බව ඔබ දන්නවාද.

 

ලංකාවේ ප්‍රථම වරට නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලා කෘති රැගත් කෞතුකාගාරය නො. 58, ලුවිස් පාරෙහි Colombo innovation Towerys 17 වන මහලේ දී පසුගියදා සුබ මොහොතින් විවෘත කෙරිණි. මෙම කෞතුකාගාරයෙන් නූතන හා සමකාලීන කලා කෘති රැසක් එළිදක්වා ඇති අතර මහජනතාව මෙම නිර්මාණ රසවිඳීමට පෙළඹවීම සහ එම ජනතාව සතුව ඇති නූතන කලා කෘති පිළිබඳ දැනුම වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට කෞතුකාගාරයේ සභාපති අජිත් ගුණවර්ධන, රුහානි පෙරේරා, ශ්‍යාමිනී පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී විය. ශ්‍රී ලංකාවේ මහජනතාව සඳහා නොමිලේ විවෘතව පවතින මෙම කෞතුකාගාරය සිතුවම්, මූර්ති ,ඡායාරූප ආදී බොහෝ කලා කෘති රැසකින් සමන්විතයි. මෙම වසරේ ජනවාරි මාසයේ සිට පාසල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දැනුම ලබා ගැනීමටත්, ඔවුන් සමඟ සාකච්ඡා කරමින් කෞතුකාගාරය තව තවත් අධ්‍යාපනයට යෝග්‍ය ස්ථානයක් බවට සංවර්ධනය කිරීමටත් පාලක මණ්ඩලය සූදානම් ව සිටීම විශේෂත්වයකි. ශ්‍යාමිනී පෙරේරා මහත්මියගේ one hundred thousand small tales නම් ප්‍රදර්ශනය 2019 දෙසැම්බර් මස 20 වැනි දින සිට 2020 මාර්තු 20 වැනි දින දක්වා මෙහිදී නොමිලේ මහජනතාව සඳහා විවෘතව පවතී.

 

 

ප්‍රවීණ සහ වෘත්තිමය දැනුමක් සහිත මණ්ඩලයක් මගින් මෙහෙයවන මෙම කෞතුකාගාරය සමකාලීන සහ නූතන කලාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, සමාජයේ පවතින විවිධ අංශ සමීක්ෂණය ඔස්සේ දැනුම වර්ධනය සඳහාත්, නූතන හා සමකාලීන කලා කෘති සංරක්ෂණය වැනි අරමුණු රැසක් මුල්කරගනිමින් පිහිටුවා තිබීමද විශේෂත්වයකි. ඔබත් අදම මෙම කෞතුකාගාරය නරඹා නූතන කලා කෘති පිළිබඳ දැනුම ලබා ගන්නටත්, අත්දැකීම් සම්භාරයක් ගොඩගසා ගන්නටත් අමතක නොකරන්න. විශේෂයෙන්ම ඔබගේ දරුවන් මෙම කෞතුකාගාරයට රැගෙන යාම තුලින් ඔවුන්ට ද ශ්‍රී ලාංකීය නූතන කලා කෘති පිළිබඳව දැනුම ලබා ගැනීමටත් ඒවා සියැසින්ම දැක ගැනීමටත් අවස්ථාව උදාවනු ඇත. ශ්‍රී ලාංකීය නූතන කලා කෘති සියලු දෙනාම එක්ව ආරක්ෂා කරගත යුතු ජාතික සම්පතක්ම වන්නේය.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1180 Views

Comments

arrow-up