දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල්

දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල්

තෛපොංගල් මාසයේ කෙනෙකුගේ ඉපදීම සිදුවේ නම් එය වාසනාවකි. ඔහුගේ අනාගතය යහපත් වන්නේය යන්න හින්දු ජනතාවගේ පිළිගැනීමයි. හින්දු භක්තිකයන්ගේ අවුරුද්දේ පළමු මාසය තෛ මාසයයි. එය ඉංග්‍රීසි ක්‍රමයට ජනවාරි මාසයයි. සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට ගමන් කිරීම ආරම්භ කරන අවස්ථාව ඇයි මාසයේ උදාව ලෙස පිළිගැනේ. එම මොහොත උදා වන්නේ ජනවාරි 14 හෝ 15 වන දින දෙකින් එකක ය. එම දිනය තෛපොන්ගල් දිනය ලෙස සැලකේ. හින්දු භක්තිකයන් වසර පුරා උත්සව රැසක් පවත්වන අතර මෙය ඔවුන් වර්ෂය ආරම්භයේ දී පවත්වන උත්කර්ෂවත් උත්සවයකි.

වර්ෂාපතනය සහ සෘතු විපර්යාසය ගොවිතැනේ සාරවත් බවට බෙහෙවින් බලපායි. සාර්ථක අස්වැන්නක් සඳහා සූර්යයාගේ බලපෑම කිසිවිටකත් අමතක කළ නොහැකියි. තම කෘෂි කටයුතු සඳහා මහෝපකාරී වූ සූර්යයාට කෘතගුණ සලකනු වස් හින්දුන් විසින් වාර්ෂිකව තෛපොංගල් උත්සවය පවත්වනු ලබයි. වාසනාවන්ත සාමකාමී ජීවිත ගතකිරීමට හිරුගේ ආශිර්වාදය ලබාගැනීම මෙම උත්සවයේ තවත් අරමුණකි. ජූලි මාසයේදී ලියදි සකසා, සී සා, පොළොව බුරුල්කර, හොඳින් පිළියෙල කරගත් බිමේ පිරිසුදු බීජ වපුරා අස්වනු නෙළා ගන්නා තුරු ගොවියා විඳින්නේ ඉමහත් දුක් කන්දරාවකි. එහෙත් දෙසැම්බර් ජනවාරි පමණ වන විට එම මහන්සියේ රන් අස්වනු දකින ගොවියගෙ සිත ප්‍රීතියෙන් ඉපිලි යයි. අස්වනු නෙළා ගෙට ගන්නා ගොවියා තම වගාව සාර්ථක කර ගැනීමට බෙහෙවින් උපකාර කල හිරු දෙවියන් පුදන්නේ අග්‍ර භාගයෙන් පොන්ගල් කිරිබත් පිළියෙල කිරීමෙනි. හින්දුන් අතර හිරු සඳු අහස පොළව වැනි ස්වාභාවික වස්තූන්ට පුද පූජා කිරීමේ චාරිත්‍රයක් අතීතයේ සිට පැවත එයි. තෛපොංගල් උත්සවය ද දිගු ඉතිහාසයක් ඇති උත්සවයකි.

 

 

 


මෙම උත්සවයේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉපැරණි වේද ග්‍රන්ථවල සඳහන් වේ. ද්‍රවිඩ සාහිත්‍ය පොත් පත් වලින් ද මේ පිළිබඳ සාධක හමුවේ. හින්දූන් ගේ ඉතිහාසය ආරම්භ වන්නේ සංඝකාලම් යුගයෙනි. මේ අනුව තෛපොංගල් උත්සවයට වසර දෙදහසකටත් වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනේ. හින්දු භක්තිකයන් කල්තියාම තෛපොංගල් උත්සවය සඳහා ලකලෑස්ති වෙති. නිවස හා අවට පරිසරය සුද්ද පවිත්‍ර කර නිවෙස් වලට අලුත් මුහුණුවරක් ලබා දීමට උත්සුක වෙති. නිවසට අලුත් බඩුමුට්ටු සහ හැළි වළං මෙන්ම නිවැසියන්ට අලුත් ඇඳුම් පැළඳුම් ද මිලදී ගැනීමට ඔවුහු අමතක නොකරති. කැවිලි පෙවිලි පිළියෙල කිරීම දින කිහිපයක් මුළුල්ලේ සිදු වේ. කෙසෙල් ගසින් සහ කොහොඹ අඹ වැනි අතුවලින් නිවසේ ප්‍රවේශ මඟ අලංකාර කරයි. අස්වනු නෙළා ගෙට ගන්නා තුරු විඳි දුක්ගැහැට ඉවත් කර යහපත සතුට ළං කර ගැනීම මින් සංකේතවත් කරයි. පොංගල් උත්සවය දින තුනක් තිස්සේ පැවැත්වේ. පොංගල් දිනයට පළමු දිනය පොගී උත්සවය යනුවෙන් හඳුන්වයි. එදින හිරු උදාවන්නට ප්‍රථම නිවසේ තිබෙන සියලුම කැලිකසල සහ භාවිතයට ගත නොහැකි ලට්ට ලොට්ට සියල්ල නිවස ඉදිරිපිට එළිමහනට ගෙන ගොස් ගිනි තබනු ලැබේ. තෛපොන්ගල් උත්සවයේ වැදගත් ම දිනය උදාවන්නේ මින් අනතුරුවයි. එදින අලුයම අවදි වී නා
පිරිසිදු වන හින්දු භක්තිකයන් තම නිවෙස් ඉදිරිපිට මිදුලේ කෝලම් අඳිති. කෝලං ඇඳීම සඳහා බොහෝ විට යොදා ගන්නේ ගාන්න අඹරා සකසා ගත් පිටි වර්ග ය. විවිධ රටා ඔස්සේ කෝලම් ඇඳීම සිදු කෙරේ. එම ධාන්‍ය පිටි කෘමීන්ට සහ පක්ෂීන්ට ආහාරයක් වෙතැයි ඔවුන් විශ්වාස කරති.

ගොම පොහොරින් මෙන්ම වගාව සශ්‍රීක කර ගැනීමට තම ශ්‍රමයෙන් දායකවන ගවයාට කෘතගුණ දැක්වීම ද එදින සිදු කරයි. පස්ගෝ රසයෙන් මිනිසාගේ පෝෂණයට උපකාරීවන ගවයාට ප්‍රතිඋපකාර දක්වන හින්දු භක්තිකයන් මෙදින ගවගාල සුද්ද පවිත්‍ර කර ගොම මැටි ගා සකස් කරති. ගවයා වටිනා රෙද්දකින් සරසා මල් ගවසා පොට්ටු තබා සරසයි. අනතුරුව ඌට පොංගල් කෑමට දෙනු ලැබේ. මෙලෙස ගොවිතැන සහ අභ්‍යන්තරයෙන්ම බැඳුණු ගවයා සඳහා කරන සත්කාරයෙන් පොංගල් උත්සවය අවසන් කෙරේ. ඉන්දියාවේ මාඩු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සිදු කරනු ලබයි. ශක්තිමත් ගවයකුගේ ගෙලේ මුදල් පසුම්බියක් එල්ලා ඌ කුලප්පු කොට මුදාහරිනු ලැබේ. ඌ අල්ලා මෙල්ල කර මුදල් පසුම්බිය ලබාගන්නා තැනැත්තා වීරයකු ලෙස පිළිගනු ලැබේ. ඉන්දියාවේ අලංග නල්ලූර් නම් ප්‍රදේශය මෙම ක්‍රීඩාවට ප්‍රසිද්ධයි. ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් අතර මෙබඳු ක්‍රීඩාවක් දක්නට නොමැති වුවත් ඔවුහු ඉතා භක්තියෙන් පොංගල් උත්සවය පවත්වති. හිරුට වැස්සට අහසට පොළවට ජලයට සහ ගවයාට ආශිර්වාද කරමින් දින තුනක් තිස්සේ පැවැත්වෙන තෛපොංගල් උත්සවය එසේ නිම කරනු ලබයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

2625 Views

Comments

arrow-up