අල්පොන්සෝ අඹේ වතගොත

අපනයන බෝගයක් විදියට අපේ රටේ ප්‍රචලිත වූ අඹ විශේෂයක් තමයි අල්පොන්සෝ අඹ කියන්නේ. මේ ඒ අඹ පිළිබඳ ඔබ නොදත් තොරතුරු කිහිපයක්.
අල්පොන්සෝ අඹවල නිජභූමිය වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ඨයයි. පෘතුගීසීන්ට ඉන්දියාවේ බින්න බහින්නට උපකාර කළ අල්පොන්සෝ ද ඇල්බර්කර්කි (Alfonso de Albuquerque) නම් වංශාධිපති හමුදා නිලධාරියෙක් සිහිවීම පිණිස මෙම ප්‍රභේදය නම්කර තිබේ. අඹ ශාකයේ බද්ධ පැල නිපදවීමේ තාක්ෂණය ඉන්දියානුවන්ට පුරුදු කරනු ලැබුවේද පෘතුගීසීන්මය. නිජබිම ඉන්දියාව නිසා විවිධාකාර අඹ මාදිලි අතීතයේ සිටම ඉන්දියාවේ තිබෙන්නට ඇත. ආකර්ශනීය අල්පොන්සෝ ප්‍රභේදය තෝරාගෙන නම්කිරීමෙන් පසු එය මහාරාෂ්ඨ ප්‍රාන්තය ඇතුළු සෙසු යාබද ප්‍රදේශයන්ටද හඳුන්වාදී තිබේ. ඉන්දීය අඹ ප්‍රභේද අතර අල්පොන්සෝ මාදිලිද රැසක් තිබේ. මේ අතරින් වඩාත්ම ආකර්ශනීය ප්‍රභේදයක් වන්නේ ‘රත්නගිරි’ ය. 1953 දී මහරැජිනගේ ඔටුනු පැළඳවීමේ උත්සවයට බොම්බායේ සිට විශේෂයෙන් මෙම ප්‍රභේදය රැගෙන ගිය බව සඳහන්වේ.
එහෙත් අද වනවිට තමිල්නාඩුවේ තිබෙන ‘මල්ගෝබා’ නම් අල්පොන්සෝ ප්‍රභේදය ඉන්දියාවේ අංක එක සේ සැලකේ. කෙසේ වෙතත් 2014 අප්‍රේල් මාසයේදී ඉන්දීය අඹවලට තම දොරගුළු වසා දැමීමට කටයුතු කෙරුවේ පලතුරු මැස්සන් කීපදෙනෙක් අඹ පෙට්ටියක සැඟවී යුරෝපයට පැමිණීමට දැරූ උත්සාහයක් හසුවීම හේතුවෙනි. නමුත් 2015 වසරේ ජනවාරි වන විට ඉන්දීය අපනයන ප්‍රමිතීන්වල දුටු දියුණුව හේතුවෙන් තහනම ඉවත්කර තිබේ. ඇමරිකාවද මීට පෙර 1989 දී අල්පොන්සෝ ඇතුළු සියලූ ඉන්දීය අඹවලට එරටට ඇතුළුවීම තහනම් කර, 2007 දී තහනම ඉවත් කරන්නට යෙදුනි.
ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසූව දශකයේ ආරම්භයත් සමග ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය ඇතිව පලතුරු වගාවේ උන්නතිය උදෙසා, විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මේ යටතේ අඹ වර්ගද හතළිහකට වඩා ගණනක් රැගෙන ආ බව වාර්තාවල සඳහන්ය.
80 දශකයේ අවසන් භාගය වන විට ලංකාවේ එකළ පැවැති ශක්තිමත් වැඩසටහනක් වූ ‘මාර්ඞ්’ යන කෙටි නමින් හඳුන්වන මහවැලි කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය මගින්ද මෙලෙසින්ම අඹ ප්රභේදයන් ගෙන්වනු ලැබුවේ මහවැලි සංවර්ධනයට අයත් බල ප්‍රදේශයන්හි උස්බිම් වල වගා කිරීම සඳහාය. එහිද අල්පොන්සෝ තිබුණු අතර අරලගංවිල පිහිටුවා ගන්නා ලද පැල තවානක ඔවුහු පැල නිෂ්පාදනයද කරගෙන ගියහ. නිපදවන ලද අඹ පැල එම ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩම්වල සිටුවීමටද පියවර ගෙන තිබේ. පසු කාලීනව ‘මාර්ඞ්’ ව්‍යාපෘතිය අවසන්වෙත්දී එය සතුව තිබූ මෙම ගොඩ ඉඩම් පෞද්ගලික වගාකරුවන්ට ලබාදී තිබේ. ඒ පල දරමින් තිබූ වෘක්ෂලතාදියත් සමගිනි. මේ ආකාරයට ඉන්දියාවේ අල්පොන්සෝ අඹ රට පුරා ප්‍රචලිත විය.
by Dilki Shamani
Photo source : Internet
874 Views
Comments