ලංකාවේ අවසන් අන්තඃපුර මාලිගය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

ලංකාවේ අවසන් අන්තඃපුර මාලිගය

ලංකාවේ අවසන් අන්තඃපුර මාලිගය

අන්තඃපුර ස්ත්‍රීන් වෙනුවෙන්ම ඉදිකරන ලද මාළිගාවකි. දැනට මෙරට දක්නට ලැබෙන එකම අන්තඃපුර මාළිගාව වසර 200 කටත් වඩා පැරැණිවේ. ඒ තුළින් මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ ලක්ෂණ ද පෙන්නුම් කිරීම හා රහස් උමං මාර්ග පද්ධතියකින් ද සමන්විත වීමය. මෙවන් සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත මෙම අපූර්වතම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ කොළඹ-රත්නපුර මාර්ගයේ දකුණු පසින් රත්නපුර නගරයේමය. මෙම දෙමහල් ගොඩනැගිල්ලෙන් ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළ ද උඩරට සිංහල දේශීය ගෘහ නිර්මාණ ලක්ෂණ ද ඇතුළත් කර ඇති බව හඳුනාගත හැකිය.
 

 

මෙම අන්තඃපුර මාළිගාවේ ඉතිහාසය පිළිබඳව සොයා බලනවිට එය ඇහැලේපොළ මහ අදිකාරම් හා බැඳී පවතින බව පෙනේ. ඔහු ලක්දිව අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියමයෙන් රත්නපුරයට පැමිණ ඇත්තේ සබරගමු වැසියන් උඩරට රජුට ගෙවිය යුතු බදු පැහැර හැරීම පිළිබඳව සොයා බලා එම බදු එකතු කිරීමටය. ප්මෙසේ රත්නපුරයේ රාජකාරියට පැමිණි ඇහැලේපොල මහඅධිකාරම් කලක් රත්නපුරයේ බටුගෙදර පිහිටි වලව්වක දිවි ගෙවුවද පසුව රත්නපුර මධ්‍යයේම නව වලව්වක් ඉදිකර ඇත. වර්තමානයේ එහි රත්නපුර ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යයි. මෙසේ තමන්ට නිල නිවසක් ඉදිකරගත් හෙතෙම කන්ද උඩරට සිටි තමන්ගේ භාර්යාව හා දරුවන් ද අමතක කරමින් අන්‍ය ස්ත්‍රීන්ගේ පහස විඳින්නට වූ බව හා ඒ සඳහා ඔහු තම වලව්වට ඉහළින් වූ භූමියේ අන්තඃපුර මාළිගාවක් ඉදිකර ඇති බව මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන ජනප්‍රවාදිත මතයයි.
 

 

මෙම අන්තඃපුර මාළිගාවේ විශේෂත්වය සොයාබලන විට එය දැනට ඉතිරිව පවතින රජ දවස ඉදිවූ එකම අන්තඃපුර මාළිගාව බව පැවසීම යුක්ති සහගතය. එසේම එහි තිබූ එක් කාමරයක සිට ඇහැලේපොළ අධිකාරම්ගේ වලව්වටත්, රත්නපුර ඕලන්ද බළකොටුවටත් හා කළු ගඟටත් විහිදී ගිය උමං පද්ධතියක් තිබූ බවට ජනප්‍රවාදයේ එයි. පසුකාලීන ප්‍රතිසංස්කරණ හමුවේ එම උමං පද්ධතිය වැසී ගොස් ඇති අතර ඒවා දෑසින් දුටුවන් ද තවමත් රත්නපුරයේ වෙසෙන බව නොරහසකි. විජේසිංහ බෙලිගල්ල විසින් පරිවර්තනය කරන ලද ජෝර්ජ් ටර්නර් දුටු රත්නපුර දිසාව කෘතියේ මෙම උමං පිළිබඳ ඇසින් දුටු විස්තරයක් ද අන්තර්ගත වේ. එයට අනුව ඇහැලේපොළගේ නිල නිවසේ සිට මීටර 250ක් පමණ ඈතින් පිහිටි රත්නපුර ඕලන්ද බළකොටුවට උමං මාර්ගයක් තිබී ඇත.
 

 

ජෝර්ජ් ටර්නර් සඳහන් කරන පරිදි එම උමග නිල නිවසේ ඇතුළු කාමරයකින් ආරම්භ වී තිබේ. ඇහැලේපොල මහ අධිකාරම්ගෙන් පසුව මෙම නිල නිවසේ වාසය කරන ලද බ්‍රිතාන්‍ය උප දිසාපතිවරුන් ද මෙම උමග භාවිතයෙන් වලව්වේ සිට කොටුවේ තිබූ කච්චේරියට ගොස් ඇත. වසර 200කටත් වඩා පැරැණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම ගොඩනැගිල්ල ඇහැලේපොළ අදිකාරම් මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව එකල යටත්විජිත ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවාසය බවට පත්ව ඇත. ඒ අනුව සියවසකට අධික කාලයක් ඒජන්තවරුන්ගේ නිල නිවාසය වූ මෙම මාළිගාව වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කර තිබේ.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

678 Views

Comments

arrow-up