තවමත් ඵල දරන ලංකාවේ පැරණිම දෙල් ගස
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

තවමත් ඵල දරන ලංකාවේ පැරණිම දෙල් ගස

තවමත් ඵල දරන ලංකාවේ පැරණිම දෙල් ගස

දෙල් යනු මෙරට අනාදිමත් කාලයක් තිස්සේ පැවැත එන ආහාර භෝගයක් නොවන අතර දෙල් මෙරට ලන්දේසි පාලන යුගයේදී හඳුන්වාදුන් ශාකයක්. මේ එම දෙල් ගසේ මුතුන්මිත්තන් පිළිබඳ තොරතුරු සොයායාමක්. දකුණු පැසිපික් කලාපීය ප්‍රදේශයන්හි වැඩෙන දෙල් ගසකින් වසරකට ගෙඩි 50-150ක් අතර ප්‍රමාණයක් නෙළාගත හැකි අතර දකුණු ඉන්දියානු කලාපයේදී එය ගෙඩි 150-200ක් අතර ප්‍රමාණයක් වේ. මෙම භෝගයේ වැඩීම සඳහා වඩාත් සුදුසු වන්නේ මුහුදු මට්ටමින් මීටර 650ක් පමණ උස් වූ භූමි ප්‍රදේශවන අතර අවශ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1500-3000ක් අතර වේ. දෙල් භෝගය වැඩි ඵලදායි ආහාර නිෂ්පාදන ශාකයක් වන අතර ඵල හටගන්නා කාලයේදී එක් දෙල් ගසකින් දෙල් ගෙඩි 200කට වැඩි ප්‍රමාණයක් නෙළාගත හැකිය.

 

මෙරට රෝපිත මුල්ම දෙල්ගස තවමත් ජීවමානව තිබෙන බව ඔබ දන්නවාද? එම දෙල් ගස රෝපණය කර ඇත්තේ ඓතිහාසික ගාල්ල කොටුව තුළය. දකුණු පළාතේ අගනගරය වන ගාල්ල ඈත අතීතයේ සිටම ඉතා වැදගත් වූ භූමි ප්‍රදේශයකි. මේ පිළිබඳව එන ජනප්‍රවාදයකින් කියවෙන්නේ වැලිතර ප්‍රදේශයේ ජීවත්වූ පිනොස් ආරච්චි නමැති අයකු යුරෝපීය නැව්වලට ආරක්ෂාව සපයමින් කටයුතු කළ බවත් එසේ කටයුතු කරන අවස්ථාවක කුඩා යාත්‍රාවක ගමන් කරමින් සිටියදී කුණාටුවකට හසුව දූපතකට ගසාගෙන ගිය බවත්ය. එම දූපතේ අතරමං වූ ඔහුට ආහාරයට තිබී ඇත්තේ දෙල් පමණි. පසුව එම දූපතෙන් නැවත එනවිට ඔහු දෙල් පැළ කිහිපයක් ගෙනවිත් මෙරට රෝපණය කර ඇත.

 

පණ්ඩිත විලියොම් මහතා සිය ගාලු ඉතිහාසය කෘතියේ සඳහන් කරනුයේ එවක ඕලන්ද ආණ්ඩුකාරවරයා බලකොටු ඉදිකිරීම සඳහා කොස් ගස් සියල්ල කපා දැමීමට නියෝග කළ බැවින් විකල්පයක් ලෙස දෙල් හඳුන්වාදීමට සිදුවූ බවයි. තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ කපිතාන් විලියම් බ්ලින් විසින් ඇමරිකාවේ නීග්‍රෝ ජාතික වහලුන් සඳහා ආහාර ලෙස දෙල් හඳුනාගෙන පෙරදිග ඉන්දියානු ප්‍රදේශයේ සිට දෙල් පැළෑටි ප්‍රවාහනයේදී එක් දෙල් පැළෑටියක් ගාල්ල වරායට පාවී ඇවිත් මෙහි පැළවී ඇති බවයි. ජනප්‍රවාදගත ජනප්‍රිය මතයට අනුව මෙරට රෝපිත පළමු දෙල් ගස ඇත්තේ ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ල පිහිටි භූමියේය. මෙම දෙල් ගසේ තවමත් දෙල් ගෙඩි පල දරන අතර ඒවාහි රස බැලූ ගාල්ල කොටුව වාසීන් පවසනුයේ වෙනත් දෙල් ගස්හි දෙල්වලට වඩා මෙම දෙල් ගසේ දෙල් රසවත් බවය. ගාල්ල පැරැණි ඕලන්ද රෝහල් භූමියට පැමිණෙන ඕනෑම අයෙකුට මුහුද දෙසට අතුපතර විහිදා වැජඹෙන මෙම දෙල් ගස බලාගත හැක.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

866 Views

Comments

arrow-up