පුංචි උනත් හැඩ කුඩා ව්‍යාපාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

පුංචි උනත් හැඩ කුඩා ව්‍යාපාර

පුංචි උනත් හැඩ කුඩා ව්‍යාපාර

කුඩා ව්‍යාපාර යන්න අර්ථ දැක්වීමට පොදුවේ පිළිගනු ලබන එක් නිර්වචනයක් නොමැත. ඒ පිළිබඳව විස්තර කෙරෙන විවිධ මූලාශ්‍රයන්හි කුඩා ව්‍යාපාර විවිධ අයුරින් නිර්වචනය කර ඇත. ස්වාධීන හිමිකාරත්වයක් ඇති සහ ස්වාධීනව පවත්වාගෙන යන සේවකයන් සුළු සංඛ්‍යාවක් නියුක්තව සිටින වාර්ෂික විකුණුම් ප්‍රමාණය සාපේක්ෂව අඩු මට්ටමක පවතින කර්මාන්තය තුළ බලපෑමක් කළ නොහැකි ව්‍යාපාර කුඩා ව්‍යාපාර වශයෙන් සරලව හඳුන්වන්න පුළුවන්. කර්මාන්තය තුල ඇති බලය සීමිත වීම, කළමනාකාරිත්වය බොහෝවිට හිමිකරු විසින්ම සිදු කිරීම, ව්‍යාපාරයේ හිමිකාරීත්වය එක් අයෙකු හෝ කිහිපදෙනෙකු අතර රැඳීම, බොහෝ විට දේශීය හෝ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වීම, සාපේක්ෂව කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර තිබීම, බොහෝ විට නවීන තාක්ෂණය භාවිතය අඩුවීම, ශ්‍රම සූක්ෂම වීම, වෙළඳපොල කොටස කුඩා වීම, අවම බලශක්ති භාවිතය, වාර්ෂික විකුණුම් ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම, සාපේක්ෂව මූල්‍යමය බැඳීම් අඩු වීම කුඩා ව්‍යාපාර වල දැකිය හැකි ගති ලක්ෂණ කිහිපයකි.

කුඩා ව්‍යාපාර යනු කුමක්දැයි හැඳින්වීමට යොදා ගැනෙන නෛතික නිර්ණායක රටින් රටට මෙන්ම කර්මාන්තයෙන් කර්මාන්තයටද වෙනස් වෙයි. එක් එක් ආයතන වල විවිධ අවශ්‍යතා පදනම් කරගෙන කුඩා ව්‍යාපාර නිර්වචනය කිරීම සඳහා විවිධ නිර්ණායක භාවිතා කරයි. මේ නිසා කුඩා ව්‍යාපාර හඳුනාගැනීම සඳහා පොදුවේ පිළිගනු ලබන එකම නිර්ණායකයක් හෝ ඒවායේ සීමාවක් සඳහන් නොවේ. එහෙත් ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ විවිධ ආයතන සහ සංවිධාන විසින් ඒ සඳහා යම් යම් සාධක ඉදිරිපත් කර ඇත. පොදුවේ ගත් විට කුඩා ව්‍යාපාර නිර්වචනය කිරීම සඳහා ප්‍රධාන පිවිසුම් දෙකක් දැකිය හැකියි. එනම් ප්‍රමාණාත්මක ගති ලක්ෂණ නැතහොත් සංඛ්‍යාත්මක පදනමකින් මැනිය හැකි ගති ලක්ෂණ සහ ගුණාත්මක ගති ලක්ෂණ හෙවත් ගණනය කිරීමේ ක්‍රමවේදයක් යොදාගත නොහැකි ලක්ෂණයි. ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර සඳහා සම්මත නිර්වචනයක් නොවුවද ලොව සෙසු බොහෝ රටවල ඒ සම්බන්ධ පොදු එකඟත්වයක් පවතී. නිදසුනක් ලෙස ඉන්දීය රජය 2006 වසරේදී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පනත මගින් සම්මත නිර්වචනයක් හඳුන්වා දෙනු ලැබීය. ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය යනාදී රට වලද මෙවැනි සම්මත පොදු නිර්වචන දකින්නට පුළුවනි.

 

 

 


වර්තමානයේ දී කුඩා ව්‍යාපාර ලෙස දක්වන සැලකිල්ල වෙනුවට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වශයෙන් සාකච්ඡා කිරීම ප්‍රචලිත වී ඇත. රටක ක්‍රියාත්මක සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර එක්ව ගත් කල සියල්ල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ලෙස හඳුන්වයි. එනම් රටක මහා පරිමාණ ව්‍යාපාර හැරුණු විට පවතින අනෙකුත් සියලුම ව්‍යාපාර මින් අදහස් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සමාජීය සංවර්ධනය උදෙසා ඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ දායකත්වය අතිශයින් වැදගත් වන බව හඳුනාගෙන ඇත. ආසියාතික රටවල් වන ජපානය දකුණු කොරියාව තායිවානය සිංගප්පූරුව චීනය මැලේසියාව යන රටවල ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල වශයෙන් දායක වී ඇති බවද සඳහන්.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

1591 Views

Comments

arrow-up