මහනුවර යුගයේ නිරෝධායන නීතිය

වසර සිය ගණනකට පෙර ලංකාවේ නිරෝධායනය ක්‍රියාත්මක වූ බව ඔබ දන්නවාද? එය යුරෝපීය ජාතීන්ගෙන් වසූරිය වසංගතය මහනුවර ඇතුළු උඩරට රාජධානියට බෝවීම වළක්වා ගැනීමට දරණ ලද ප්‍රයත්නයක් බව වාර්තාවේ.
වසූරිය 17 - 18 සියවස්වල යුරෝපයේ දස දහස් ගණනක් ජනතාව බිලිගත් වසංගතයකි. එම බියකරු රෝගය ලංකාවට පැමිණියේ පෘතුගීසි, ලන්දේසි වැනි ආක්‍රමණිකයන් සමඟ බවට මතයක් එකල පැවතුණි. පෘතුගීසි කාලයේදී මෙරට මුහුදුබඩ ප්‍රදේශවල වසූරිය පැතිර ගියේය. පෘතුගීසි බලකොටුවල නිරත මේ රෝගය වාර්තා විය. වර්ෂ 1581 දී සීතාවක රාජසිංහ උඩරට ආක්‍රමණය කළ විට, මන්නාරමේ පෘතුගීසි රුකවරණය පැතූ කරල්ලියද්දේ බණ්ඩාර රජු මියගියේ වසූරියෙනි.
පෘතුගීසි පලවා හැර වර්ෂ 1658 දී ලන්දේසි මෙරට මුහුදුබඩ පළාත්වල බලය අල්ලා ගත්හ. ලන්දේසි කාලයේද අප රටේ මුහුදුකරයේ වසූරිය පැතිර ගිය බව වාර්තා වේ. ඒ අතර ලන්දේසින්ට අවශ්‍ය වූයේ උඩරට රජවරු සමඟ යුද්ධ කිරීම නොව ගැටුමකට නොගොස් ඔවුන් සමඟ තානාපති සබඳතා පවත්වා ගනිමින් පාලනය කිරීමකි. ඒ මෙරට පාලනය කළ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ කපටි වාණිජ අරමුණු නිසාය. ලන්දේසිහු 1796 දක්වා සියවස් එකහමාරකට ආසන්න කාලයක් මෙරට මුහුදුබඩ පාලනය කළ අතර වාර්ෂිකව උඩරට රජු වෙත තානාපති චාරිකා පැවැත්වීමේ සම්ප්‍රදායක් අනුගමනය කළහ.
එමෙන්ම උඩරටට තෑගිබෝග පඬුරු රැගෙන පැමිණෙන ලන්දේසීන් හරහා රාජධානි අගනුවරට වසූරිය පැමිණෙන්නට ඉඩකඩ පවතී යැයි මහ රජුට සැකයක් පැවතුණි. එබැවින් විදේශීය දූතයන් එක්වරම රාජධානියට වැද්ද නොගෙන යම් ස්ථානයක කාලයක් නවත්වා තබා අගනුවරට රුගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය.
උඩරට දක්වා පැවති දුෂ්කර මඟ තරණය කරන ලන්දේසිහු විවිධ ස්ථානවල නවාතැන් ගත්හ. රටේ තැන් තැන්වල සංචාරය කරන රජුට හා රාජ්‍ය නිලධාරීන්ට නවාතැන් ගැනීමට තානායම් ඉදිකර තිබුණි. ලන්දේසි තානාපති ද ඒවායේ නවාතැන් ගත්තේය. සීතාවක, රුවන්වැල්ල, ඉද්දමල්පාන, කැබැල්ලගහරුප්ප, හෙට්ටිමුල්ල, අට්ටාපිටිය, වල්ගොවුවාගොඩ හා ගන්නෝරුව පැරණි උඩරට මාවතේ එවැනි තානායම් පැවති ස්ථාන විය. මහ රජ්ජුරුවන්ගේ නිරෝධායනය අට්ටාපිටිය නවාතැනේදී ක්‍රියාත්මක කෙරුණි. එහෙත් දූත පිරිසට එය ඍජුව දැනුම් නොදුන් අතර රජු අගනුවර නොමැති බව ආදී විවිධ හේතු දක්වා ගමන පමා කෙරුණු බව වාර්තා වේ. අට්ටාපිටිය තානායම මහ ඔයට මෙගොඩ වහරක්ගොඩ තිබුණු බව ගවේෂක මහානාම දුනුමාල සඳහන් කරයි. වහරක්ගොඩ සොහොන් භූමිය හැඳින්වෙන්නේ තානායම්ගොඩ නමිනි. උඩරට රජුගේ නවාතැන් මාලිගයක් එහි තිබූ බවට ජනප්‍රවාද පැතිර පවතී.
එබැවින් බෝ වන රෝග වලින් ආරක්ෂා වීම සඳහා අනුගමනය කරන නිරෝධායන පිළිවෙත අතීත රජදරුවන්ගේ සිට අපේ රටේ පැවත එන ආරක්ෂිත පියවරකි.
by Dilki Shamani
Photo source : Internet
1299 Views
Comments