පියාඹන ප්‍රතිකාර දැන් සූදානම්

දීර්ඝ කාලයක් පුරාවට ලොව පුරා සිදු වන තාක්ෂණික විප්ලවය විවිධ ක්ෂේත්‍රයන් කෙරෙහි බලපානවා. මේ සූදානම් වන්නේ තවත් එවැනි අවස්ථාවක් පිළිබඳ ඔබව දැනුවත් කරන්න.
මේ සිදු වන තාක්ෂණික විප්ලවයත් නිසාම වැඩි වැඩි කල් නොගොස් අපට අහසින් එන දොස්තරලා සුලබව දකින්නට හැකිවනු ඇත. ඒ අනුව එම තාක්ශණයේ පර්යේෂණ සඳහා අහසින් යන මුල්ම දොස්තර පසුගිය දා සිය මංගල පියාසර ඇඳුමෙන් සැරසී එංගලන්තයේ ලේක් දිස්ත්‍රික්කයේ ග්‍රේට් නොර්ත් පළාතේ අහසින් ගමන් ගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන් පා ගමනනින් පවා ළඟා වීම අතිශය දුෂ්කර උස් කඳු ශිඛර ප්‍රපාතකාරී බෑවුම් වැනි දුගම ස්ථාන කරා ඉතා ඉක්මණින් හදිසි අනතුරකදී ආධාර රැගෙන අහසින් යන්නට මේ අලුත් ඇඳුම නිසා ඉදිරියේදී හැකියාව ලැබේවි. මේ පියාඹන දොස්තර ඇඳුම එරට ග්‍රැවිටි ආයතනයේ නිපැයුමකි. මුලින්ම මේ ඇඳුම පැළඳ අහසින් ගියේ එම ආයතනයේ ප්‍රධානී රිචඩ් බ්‍රවුනිංන්ය.
ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන රෝගීයෙකුගේ දිවි ගැලවීම සඳහා පැය ගණනක් ගතවන ගමනක් විනාඩි කිහිපයකින් යාමට මේ පියාඹන ඇඳුම නිසා දැන් වාසනාව උදාවී ඇත. පියාඹන ඇඳුම ඇඳගත් දොස්තර හෝ ප්‍රථමාධාර රැගෙන යන්නා සමඟ වෛද්‍ය උපකරණ සහ ඖෂධ අඩංගු පෙට්ටියක්, කෘත්‍රීම ස්වසන ආධාරක, හෘද රෝගීන් සඳහා වෛද්‍ය ආධාරක කට්ටල ඇතුළු සම්පූර්ණ උපකරණ කට්ටලයක් යවනු ලැබේ. මේ පියාඹන ඇඳුමේ අත්වලට සම්බන්ධව කුඩා එන්ජින් 2කි. පිටේ බැඳ ඇති තවත් එන්ජිමකි. අත් එහේ මෙහේ කරමින් මේ එන්ජින් පාලනය කරගනිමින් ප්‍රථමාධාර රැගෙන යන තැනැත්තාට ඉතා ඉක්මණින් අනතුර සිදුවු තැනට ළඟාවීමේ හැකියාව ලැබේ.
සාමාන්‍යයෙන් දෙපයින් යනවා නම් පැය භාගයක් පමණ ගතවන දූෂ්කර කඳුමගක මේ පියාඹන ඇඳුම ඇඳගත් විට තත්ත්පර 90කින් ගමන නිමා කළ හැකිය. අඩි 12000කට පමණ උසක් දක්වා ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි කිලෝ ග්‍රෑම් 27ක පමණ බරකින් යුතු මෙම සම්පූර්ණ ඇඳුම් කට්ටලය නිමවා තිබෙනවා. ඉක්මන් වෛද්‍යාධාර ලබාදීමේ හැකියාව ඉහළ යන නිසා වසරකදී දුෂ්කර ස්ථාන ආශ්‍රීතව සිදුවන මරණ සැලකිය යුතු සංඛ්‍යාවක් වළක්වා ගනිමින් කාර්යක්ෂම සේවාවාක් සැපයීමට මේ පියාඹන ඇඳුම හේතුවෙන් ඉඩ සැලසෙන බව එය පරීක්ෂාවට ලක්කළ ග්‍රේට් නොර්ත් ගුවන් ගිලන් රථ සේවා ආයතන සේවාවේ ප්‍රධානියා ප්‍රකාශ කරනවා.
ඒ අනුව හදිසි අනතුරු සඳහා ප්‍රතිකාර කිරීම දුෂ්කර අවස්ථාවන් වලදී නුදුරේදීම මෙම උපාංගය වඩාත් උපකාරී වනු ඇත.
737 Views
Comments