රැකියාවක් දෙන්නේ හැකියාවටද සහතිකයටද?

ගෘහ සේවයේ සිට විවිධ ස්ථර වල රැකියා සඳහා විදෙස්ගත වන පිරිස් උපයන මුදල මෙරට ජාතික ආදායමට සපයන්නේ විශාල දායකත්වයක්. ඒ අතර උපාධිධාරීන්ගේ රැකියා පිළිබඳ ගැටලුවද ලක් වන්නේ දැඩි කතාබහකට. උපාධිධාරියා සහ රැකියා වෙළඳ කළ අතර ඇති පරස්පර විරෝධී බව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විසඳුම් සෙවීමට උත්සාහ දරන ගැටලුවක්. උපාධිධාරීන් නොවන පිරිස් ද විරැකියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් කොටසක් උත්සාහ කරන්නේ දේශපාලන සම්බන්ධකම් මගින් රැකියාවක් ලබා ගැනීමටයි. උපාධිධාරීන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක්. ඒ අතරින් උපාධිධාරිනියන් බොහෝවිට කැමැත්තක් දක්වන්නෙ ගුරු වෘත්තියට. ඒ ගුරු වෘත්තිය පැය පහක රැකියාවක් ලෙසත් වැඩි වශයෙන් නිවාඩු ලැබෙන රැකියාවක් ලෙසත් දැකීම හේතුවෙන්. මෙරට රැකියා වෙළෙඳපළ සහ උපාධිය අතර යම්කිසි පරතරයක් පවතින බව සත්‍යක්. එහෙත් විශ්ව විද්‍යාලයක් සම්පූර්ණයෙන්ම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විය යුතු වන්නේ ද නැත. ඇතැම් විශයධාරා ආරක්ෂා කිරීම සහ ප්‍රගුණ කිරීම ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ එක් පරමාර්ථයක්. දැනුමින් යුතු ජනගහනයක් රටකට සම්පතක් වුවත් රැකියා පිළිබද පවතින ගැටළුව හේතුවෙන් උසස් අධ්‍යාපනයේ යම් යම් වෙනස්කම් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ.
බහුතරයක් විශ්වවිද්‍යාල සිසුන් දකින රැකියා වෙළෙඳපොළ ඉතාම පටු එකක් වන අතර බහුතරයකගේ අපේක්ෂාව රජයේ රැකියාවක්. ඒ සඳහා පළමු හේතුව වන්නේ වැඩිවශයෙන් නිවාඩු ලැබීම. මෙය අපේ ආර්ථික සංවර්ධනයට එතරම් සුබදායක තත්ත්වයක් නම් නොවේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ද මෙම සියලු නිවාඩු ලැබෙන බැවින් විෂය නිර්දේශය ආවරණය කිරීමද අසීරු කටයුත්තක්. මෙම නිසා ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ යම්කිසි පසුබැසීමක් ද දැකිය හැකියි. උපාධිධාරීන්ට සහ උපාධිධාරීන් නොවන පිරිසට රැකියා ලබා ගැනීමට හැකි වන පරිදි මෙරට ආර්ථිකයේ සිදුවිය යුත්තේ ප්‍රසාරණයක්. විශ්වවිද්‍යාල තුළ විවිධ පාඨමාලා ඉදිරිපත් වුණත් ඒ සඳහා රැකියා වෙළඳපලේ ඉල්ලුමක් නැත්නම් එයද ගැටළුවක්. පුද්ගලික අංශයේ රැකියා වැඩි වශයෙන් පවතින්නේ කොළඹ කේන්ද්‍ර කරගනිමින්. එහෙත් උපාධිධාරීන්ගේ රැකියා ගැටළුවට බහුල වශයෙන් දෙන කලා අංශයෙන් උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරය අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලින් විශ්වවිද්‍යාලවලට පැමිණෙන්නන්. ඔවුන්ට ඇති එකම රැකියා වෙළඳපල වන්නේ රජයේ රැකියා. උපාධිධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම පරිගණක දැනුම මෙන්ම පුද්ගලයන් සමග නිවැරදිව ගණුදෙනු කිරීමේ හැකියාව නොමැති වීමද බරපතල ගැටළුවක්. රැකියා ලබා දීමේදී ජාතික රැකියා වෙළඳපල මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපල වෙතද අවධානය යොමු කළ යුතුයි.
රැකියාවකට අවශ්‍යවන්නේ සහතිකය නොවේ. පුද්ගලයන්. එම පුද්ගලයා පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ රැකියාවකට ගැලපෙන අන්දමේ ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබා තිබිය යුතුයි. මේ සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. කෙසේ වෙතත් දැන් උදවිය යුත්තේ උපාධිධාරීන් පෙළපාලි සහ උද්ඝෝෂණ පවත්වා රැකියා ලබා ගන්නා තත්ත්වයක් නොවෙයි. උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට දිගින් දිගටම පැලැස්තර ඇලවීම වෙනුවට මෙරට ආර්ථික සංවර්ධනයට සරිලන ආකාරයට උසස් අධ්‍යාපනය සකස් කිරීම තුලින් සාර්ථක විසඳුමක් සොයා ගැනීමයි කළ යුතු වන්නේ. එහිදී රටේ වගකිවයුතු සෑම පාර්ශ්වයකටම පැවරුණු වගකීම් සමුදායක් තිබෙන බව සිහියේ තබාගත යුතුය.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
845 Views
Comments