ඔබේ දියණියගේ හොඳම මිතුරිය ඔබ වෙන්න

රුව ඇති ගුණ ඇති තරුණ දියණියක් මවකට ආඩම්බරයකි. කුඩා කල සිටම නොයෙකුත් දුක්ගැහැට විඳ ගනිමින් මවක් සිය දියණියන් හදාවඩා ගන්නේ තමාට වඩා අඩියක් හෝ ඉදිරියට තමාගේ දියණිය යැවීමේ අහිංසක බලාපොරොත්තුව සිත තුළ දරා ගනිමිනි. කුඩාකල දියණියගේ හොඳම මිතුරිය ඇයගේ අම්මා වුවද දියණිය තරමක් වැඩෙන විට ඇයට මවට වඩා හොඳ මිතුරියන් සමාජයේ දී මුණ ගැසුණු අවස්ථා ඔබ කොතෙකුත් අසා ඇති.
වර්තමානයේ දී තරුණ දියණියන්ට සිදුවන නොයෙකුත් විෂමාචාරයන්ට මූලිකම හේතුව වී ඇත්තේ තම මව තමාගේ හොඳම මිතුරිය කර නොගැනීම යි. කුඩා කාලයේදී පාසල් නිම වී නිවසට පැමිණි පසුව දියණියන් පාසලේ දී සිදුවූ සෑම දෙයක්ම අකුරක් නෑර මව්වරුන්ට පවසන්නට පුරුදු වී සිටි. නමුත් තරමක් වැඩෙන විට දියණියන් ටිකින් ටික තමන් මව ගෙන් ඈත් වන අතර බොහෝවිට හුදෙකලාව සිටීමට උත්සාහ දරයි. ඇත්ත වශයෙන්ම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට මව්වරුන් තුළ ඇති කාර්යබහුල ජීවන රටාව ද මුල් වීමට පුළුවනි. රැකියාවක නිරත වන මවක් නම් සැමවිටම දියණිය සමඟ ගත කිරීමට ඉඩහසරක් ඇයට නොවේ. එවිට සිදුවන්නේ දියණිය හා මව අතර යම්තාක් දුරට දුරස් බවක් නිර්මාණය වීමයි. පාසල් ඇරී නිවසට පැමිණි පසු හුදකලාව ජීවත් වන දියනියට සමාජ මාධ්‍ය ජාලා හරහා මෙන්ම උපකාරක පන්ති වලදී හමුවන පිටස්තර පුද්ගලයන්ගේ ආදරය සෙනෙහස මහමෙරක් මෙන් දැනෙනු ඇත. තම මවට නොපවසන සෑම දෙයක්ම තමාගේ හොදම මිතුරියට පැවසීමට තරුණ දැරියන් දක්වන්නේ දැඩි ප්‍රියතාවක්. මෙවැනි තත්වයන් තුලදී නොයෙකුත් ආකාරයේ අනවශ්‍ය සම්බන්ධතා වලට මුලපුරන දියණියන්ට ඇතිවී තිබෙන ඛේදජනක සිද්ධීන් ඔබ කොතෙකුත් අසා ඇති. ගැහැනු දරුවකු වීදුරුවක් වැනි දෙයක් බව සිහියේ තබා ගත යුතුයි. බිඳුනහොත් කිසිදා නැවත ගොඩ නැංවිය නොහැක. චරිතවත් ගැහැනු දරුවකු වශයෙන් විවාහයක් සිදු කර ගන්නා තෙක් ජීවත් වීමට හැකි නම් එය වඩාත් අගනා දෙයකි. තරුණ දූවරුන් සිටින මව්වරුන්ට මෙහිදී පැවරී ඇත්තේ විශාල වගකීමකි. හැකි සෑම විටම තමාගේ දියණිය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට මවක් උත්සාහ දැරීම තුළින් දෙදෙනා අතර පවතින දුරස් බව අවම කර ගැනීමට හැකියාවක් ලැබේ.
දියණියගේ සිතේ පවතින සෑම දෙයක්ම තමාට කියන්නට හැකි වන පරිදි දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නට මවකට හැකියාවක් තිබිය යුතුයි. එවිට ඔබේ දියණිය සුරක්ෂිත කර ගැනීමට ඔබට හැකියාවක් ලැබේවි. මවක් තරම් දියණියක් පරිස්සම් කරගත හැකි කිසි කෙනෙක් ලොව නොමැත. ඔබත් දියණියත් අතර යහපත් සමීප සම්බන්ධතාවයක් ඇති කර ගනිමින් ඇයගේ හොඳම මිතුරිය වන්නට ඔබට හැකියාවක් පවතී නම් වඩාත් චරිතවත් සහ ආඩම්බරකාර දියණියක් සිටින මවක වීමට ඔබටත් හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
650 Views
Comments