බොලිවුඩයේ සිංහල කෙල්ල ජැකලින් ෆර්නැන්ඩස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

බොලිවුඩයේ සිංහල කෙල්ල ජැකලින් ෆර්නැන්ඩස්

බොලිවුඩයේ සිංහල කෙල්ල ජැකලින් ෆර්නැන්ඩස්

ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩයේ රංගන ශිල්පිනියක් තමයි ජැකලීන් ෆර්නැන්ඩස් කියන්නේ. ඇය ඉපදී තියෙන්නේ 1985 අගෝස්තු 11 වැනිදා. ඒ කියන්නේ දැන් ජැකලයින්ට වයස අවුරුදු තිස්හතරක්. 2006 වසරේ දී මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරමින් නිරූපිකාවක් විදිහට තමන්ගේ ජීවිතය පටන් ගන්න ජැකී නිළියක් විදිහට කලඑළි බහින්නේ 2009 වසරේ ඉඳන්. ඒ ඇලඩින් චිත්‍රපටයේ රංගනයත් සමඟ. ජැකලින්ට තියෙන්නේ මිශ්‍ර සම්භවයක්. ශ්‍රී ලංකා මලයාසියා සහ කැනඩා සම්භවයක් සහිත ඇය හැම අවස්ථාවකම කටපුරා කියන්නේ ඇය ශ්‍රී ලාංකිකයෙක් කියලා.

ජැකලින් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධියක් හිමිකර ගෙන සිටින අතර අද වන විට ඇය බොලිවුඩයේ ඉදිරිපෙළ නිළියක් බවට පත්ව සිටිනවා. ඇලඩින් චිත්‍රපටයෙන් පස්සේ ඇය රංගනයෙන් දායක වූ Murder2 චිත්‍රපටය තමයි වාණිජ සාර්ථකත්වය ලැබූ පළමු චිත්‍රපටය වෙන්නේ. 2011 වසරේ තිරගත වුණු Murder2 චිත්‍රපටය ලබපු සාර්ථකත්වය නිසාම ඇයට තවත් චිත්‍රපට දෙකකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ housefull 2 චිත්‍රපටය හා Race 2 චිත්‍රපටය. ඊට පස්සේ බොලිවුඩයට නැති බැරි තාරකාවක් බවට ජැකලින් පත්වෙනවා. ඉන්දියාවේ නර්ථන අධ්‍යක්ෂකවරුන් ජැක්ලින් එක එක්ක වැඩ කරන්න ගොඩාක් කැමතියි. එය බොහොම ඉක්මනට ඕනම steps එකක් අල්ල ගන්නවා. ඒ වගේම ඇය නර්තනයේ යෙදෙන කොට බොහෝ දෙනා ඒ වෙත ආකර්ෂණය වෙන්නේ නිරායාසයෙන්. ජැකලින් කියන්නේ ඕනෑම නර්තන ශෛලීයක් ඉතා ඉක්මනින් ප්‍රගුණ කරන්න පුළුවන් කෙනෙක් කියලා ජනප්‍රිය නර්ථන අධ්‍යක්ෂකවරයකු වන රේමෝ ද සූසා පවසලා තියෙනවා. ඒ නිසාම ඔහුගේ චිත්‍රපට වලට නිතරම යොදා ගන්නේ ජැකලින්. ඇගේ සිරුර එතරම් එතරම් නම්‍යශීලී බවයි ඔහු කියන්නේ.

ජැකලින්ට බොලිවුඩයේ සමීපතම යහළුවන් නැතිවුනත් හැමෝම එක්ක සුහදව ඉන්න කෙනෙක් කියලා තමයි ඇය පිළිබඳ වාර්තා වෙන්නේ. නළුවන් වගේම නිළියන් කියන්නේ ජැකලින් එක්ක වැඩ කරන්න හරිම පහසුයි කියලා. ඒ වගේම ඉතාම සුහදශීලීව කියලා.

අර්ජුන් රාම්පාල් සහ රන්බීර් කපූර් එක්ක ඇය ප්‍රධාන චරිත රඟපෑ රෝයි චිත්‍රපටිය අසාර්ථක එකක් වුණත් ජැකීගේ සාර්ථක රංගනය ඇතුළත් වෙන්නේ ඒ චිත්‍රපටියේ කියලයි විචාරකයන් කියන්නේ.

බොලිවුඩයේ විතරක් නෙවෙයි ජැකලින් අදවන විට හොලිවුඩයටත් ගිහින් ඉන්නෙ. ඒ Definition of fear චිත්‍රපටය හරහා. 2017 චන්ද්‍රන් රත්නම්ගේ according to mathew චිත්‍රපටිය හරහා සිංහල සිනමාවට පිවිසි ජැකලින් නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. චිත්‍රපට වල ජැකලින් නටන්නේ ඇගට දැනෙනේ නැති විදියට. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි ගොඩක් දෙනෙක් කියන්නේ. පසුගිය කාලේ ජැකලින් තමන්ට ලැබුණු ජනප්‍රිය චරිත කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා. ඒ ඇයි කියන්න කවුරුත් දැනන් හිටියේ නෑ. නමුත් මෑතකදී ඇය මාධ්‍යයට කියලා තිබුණා ඇය එහෙම කලේ අලුත් චිත්‍රපටයක් වෙනුවෙන් මාෂ්ල් ආට්ස් ඉගෙනගන්න කාලය වැය කරපු නිසයි කියලා. අවසානයට අපි ඇයව දුටුවේ සුසාන්ත් සිං රාජ්පුත් එක්ක ඈ රඟපෑ driver චිත්‍රපටිය හරහා. ඒ වගේම ඇය ඉදිරියේදී Mrs Serial Killer කියන චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්නත් සූදානම් වෙලා ඉන්නවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

1581 Views

Comments

arrow-up