දරුවන්ට යොමුවිය යුතු ගුරුවරුන්ගේ අවධානය

දෙමව්පියන්ගෙන් පසුව දරුවන් වඩාත් සමීප වන්නේ ගුරුවරුන්ටයි. දෙමව්පියන්ගෙන් පසුව දරුවාට හොඳ නරක යහපත අයහපත තෝරාබේරා දෙන්නේද ගුරුවරුන් විසිනි. ඇතැම් දරුවන් පාසල් කාලය තුළදී යම් යම් ප්‍රචණ්ඩකාරී තත්වයන් නිර්මාණය කරන අවස්ථාවන් ඔබ දැක ඇති. එම නිසා පාසල් කාලය තුළදී ගුරුවරුන් විසින් අනිවාර්යයෙන්ම දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකල යුතුම කාලයකි මේ.
එසේ නොවුණහොත් හිරිහැරකාරී මානසික තත්ත්වයන් තිබෙන දරුවන්ගේ එම තත්ත්වයන් වඩාත් බරපතල සමාජ විරෝධි හැසිරීම් දක්වා තව තවත් වර්ධනය වීමට ඉඩකඩක් පවතී. එම නිසා එවැනි දරුවන් එම දෙමව්පියන් සමඟ ද සාකච්ඡා කර නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමුවිය යුතුයි. මෙහිදී මෙම පීඩාකාරී හැසිරීම් පාසල තුළ නිර්මාණය වන්නේ යම් ප්‍රමාණයකට එවැනි පරිසර තත්ත්වයන් ද පාසල තුල පවතින විට බව ඔබ දන්නවාද. උදාහරණයක් වශයෙන් පන්තියෙ ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිව තිබෙන කාලයන් බහුල වූ විට මේ සඳහා පසුබිම දරුවන්ට සැකසෙන්නට පුළුවන්. එමෙන්ම අප රටේ පාසල් වල දැකිය නොහැකි තවත් තත්ත්වයක් ගැන ද මෙහිදී කිව යුතුයි. එනම් දරුවන්ගේ විවේක කාලය පිළිබඳව ගුරුවරුන් අවධානයෙන් නොසිටීමයි. දරුවන් විවිධ අවස්ථාවලදී ජීවිත අනතුරු වලට පවා ලක් වූ අවස්ථා අප අසා තිබේ. එම නිසා දරුවන් පිළිබඳව අවධානයෙන් විවේක කාලය තුළදී එක් ගුරුවරයෙක් හෝ සිටිනවා නම් එමගින් දරුවන් අතර සිදුවිය හැකි බොහෝ දේ වළක්වා ගන්නට පුළුවන්. උදෑසන මව්වරුන් විසින් දරුවා පාසල වෙත භාරදුන් පසුව පාසලෙන් පිට වී යන තෙක්ම දරුවාගේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ ගුරුවරුන් වෙතයි. එම නිසා දරුවන් පිළිබඳව කටයුතු නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ගුරුවරුන්ට හැකියාවක් තිබිය යුතුයි. එසේ නොමැතිව දරුවන්ට කැමති ආකාරයට පාසල තුළ කටයුතු කිරීමට ඉඩ දීම දරුවන්ට වැරදි කිරීමට ඉඩ දීමක් වැනිය. මෙවැනි අවස්ථාවන් වලදී ගුරුවරුන්ට මෙන්ම දෙමව්පියන්ට ද කිසියම් වගකීම් සම්භාරයක් පැවරී තිබේ. තමාගේ දරුවා පාසල තුළදී අනිකුත් දරුවන් සමඟ දක්වන සම්බන්ධතාවය කෙසේදැයි දෙමව්පියන් විසින් සොයා බැලිය යුතුමයි. තවද තමාගේ දරුවා අනෙක් දරුවන්ගේ ක්‍රියාමාර්ග නිසාවෙන් අපහසුතාවයකට හෝ පීඩාවට පත්වන්නේදැයි යන්නත් මවුපියන් විසින් සොයා බැලිය යුතුයි. අප සැම දෙනාටම අවශ්‍ය වී ඇත්තේ අපගේ දරුවන් යහපත් පුරවැසියන් වශයෙන් සමාජයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය අඩිතාලම පාසල තුළින් සකස් කර ගැනීමයි.
එසේ නොමැතිව අන් අය පෙළන චන්ඩි පුද්ගලයන් හෝ අන් අයට යටත්වන නිවට පුද්ගලයන් හෝ බවට අපගේ දරුවන් පත් වෙනවාට අකමැති බව නොරහසකි. එම නිසා පාසල් වල සිදුවන මෙම හිංසනය අප හඳුනාගත යුතුයි. එය පාලනය කිරීමට ගුරුවරුන් සහ දෙමාපියන් යන දෙපාර්ශ්වයම කැපවිය යුතුයි. තවද මෙය මුළුමහත් සමාජයේම වගකීමක් ද වනු ඇත. ප්රචණ්ඩකාරී දරුවන් සමාජයට යොමු වුවහොත් එමගින් සමාජයම දූෂණය වීමට ඇති ඉඩකඩ අපමණයි. සැමවිටම ඔබේ දරුවාට ගුණ දහම් කියා දෙන්න. අන් අය රිදවීමෙන් තලා පෙළා දැමීමෙන් තමාට කිසිවක් නොලැබෙන බවත් දරුවාට කියා දෙන්න. එවිට ඔබටත් ඔබේ දරුවන් යහමගට යොමු කරවා ගැනීමට නිරන්තරයෙන්ම හැකියාවක් ලැබේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
674 Views
Comments