ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් දිරිය කතුන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
27

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් දිරිය කතුන්

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් දිරිය කතුන්

ඇත්තෙන්ම කාන්තාවකට තරම් ධෛර්යයක් සහ උත්සාහයක් වෙන කිසිම කෙනෙකුට නොමැති තරම්ය. උපතේ සිට මරණය දක්වාම එක දිගට ජීවිත සටනක යෙදෙන කාන්තාව විටෙක දියණියක් තවත් විටක බිරිඳක් සහ මව මෙන්ම මිත්තණියක් වශයෙන් දිවි ගෙවයි. ජීවිතයට කෙතරම් අභියෝග සහ බාධක පැමිණියද සම සිතින් ඒවා විඳ දරා ගැනීමට ගැහැනියකට ඇත්තේ අපූරු හැකියාවකි. එවන් දිරිය ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව අපි අද කතා කරමු.

1. හොඳම කාන්තාවන් 50 අතරට පත්වූ ජයොමි ලොකුලියන

2003 වසරේ ඇය සිය ආයතනය ආරම්භ කරන විට ඇය සතුව අභියෝග රැසක් තිබුණි. විශේෂයෙන්ම ඇය කාන්තාවක් වීම නිසා පරිගණක සහ ජංගම දුරකථන එස්එම්එස් සේවා සැපයුම් ආයතනයට ආයෝජනය කිරීමට ව්‍යාපාරික අවස්ථා ලබා දීමට බිය වූ වෙළඳපල ඉහළ සමාගම් සමඟ ඇයට සාර්ථක වන්නට වඩා අසාර්ථක වන්නට තිබූ ඉඩකඩ වැඩියි. එහෙත් නොසැලෙන ධෛර්යයෙන් හා බුද්ධියෙන් සිය අරමුණ කරා ඇය පැමිණි ගමන ලාංකික මාධ්‍ය ආයතනවල වෙළඳ හා වැඩසටහන් කටයුතු සඳහා පළමුව එස්එම්එස් සේවා හඳුන්වා දීමේ ගෞරවය තෙක්ද මේ වන විට දාහත් වසරක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය දත්ත මත පදනම් වූ විට සේවා සහ මූලෝපාය අලෙවිකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ද ඇයව අභිෂේක කොට තිබේ. 2019 වසරේ top fifty professional career woman award in woman on top enterprenuer medium category මෙන්ම Echelon NE100zs අතරට එක් වූ ඇය ශ්‍රී ලංකාවට වෙනසක් වූ නව නිර්මාණාත්මක සේවාවන් රැසක් ඉදිරිපත් කරමින් ජීඑස්එම් awards මෙන්ම slim brand excellence awards සම්මානයද දිනා ගත් ලෝකය ජයගත් අපේ දිරිය දියණියක්.

 

 

 


2. ලොව බලපෑම් කළ හැකි සියදෙනා අතරට පැමිණි ආශා ඩි වොස්

ඇය බීබීසී පුවත් සේවය නම් කළ ලොව වඩාත්ම බලපෑම් කළ හැකි කාන්තාවන් සියදෙනාට ඇතුළත්ව සිටින අපේ ශ්‍රී ලාංකික කාන්තාවක්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් රැකියාවක් හෝ සේවයක් ලෙස තෝරා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන ක්ෂේත්‍රයක එනම් සමුදුරු සංරක්ෂණයෙහි සක්‍රීයව සිටින ඇය සාගර විද්‍යාඥවරියක්. එමෙන්ම සාගර ශීරපායින් පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වන්නේ ද ඇයයි. නිල් තල්මසුන් රැකගැනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතන ඇය බීබීසී සමග මෙලෙස පවසා තිබේ. ලොව වඩාත් බලපෑම් එල්ල කළ හැකි කාන්තාවක් වීම ගැන ඇයට ඉමහත් සතුටක් ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ගෞරවය පිළිබඳවද ඇයට විශාල තෘප්තියක් ඇති බවත් වේ. එමෙන්ම ලොක සිතියමේ ශ්‍රී ලංකාවට යම් අවධානයක් යොමු කිරීමට එය උදව්වක් වේවි යන හැඟීමද ඇය තුළ පවතී. ඕනෑම කාන්තාවකට පුළුවන් තමන්ගේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් අවශ්‍ය වෙනසක් සිදු කිරීමට උත්සාහ දරන්නට. එසේ සිදුකළ අය අතර හොඳම නිදසුනකි ආශා.

ඇත්තෙන්ම මෙවැනි දිරිය දියණියන් ශ්‍රී ලංකාවට අභිමානයකි. පසුගිය දිනෙක 109 වන ලෝක කාන්තා දිනය උත්කර්ෂවත් ලෙසින් සමරන්නට යෙදුණු අප විසින් සිදුකළ යුතු වන්නේ මෙවැනි දිරිය දියණියන් ට තව තවත් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය ලබා දීමයි. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ ජාතික වගකීමකි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

1671 Views

Comments

arrow-up