වූල් නිර්මාණවලට දස්කම් දක්වන ශ්‍රී ලාංකීය ඇය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
27

වූල් නිර්මාණවලට දස්කම් දක්වන ශ්‍රී ලාංකීය ඇය

වූල් නිර්මාණවලට දස්කම් දක්වන ශ්‍රී ලාංකීය ඇය

කලාත්මක නිර්මාණ සිදු කිරීමෙහිලා ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ඇත්තේ විස්මිත හැකියාවකි. නමුත් මෙවැනි හැකියාවන් සියලුම කාන්තාවන්ට පිහිටන්නේ නැත. වූල් ගෙතීමේ කලාව ද එවැනිම වූ සුන්දර කලාවකි. එම කලාවට වඩාත් ආදරය කරන සහ එම කලාවෙහි දස්කම් දක්වන ඇය නමින් දිල්හානි බෝපිටිය. අපි අද ඇය ගැන කතා කරමු.

 

 


ඇය පදිංචි වී සිටින්නේ රත්නපුර ප්‍රදේශයේ රක්වාන නම් ගමේය. රත්නපුර කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ගෙතුම් කලාව පිළිබඳව උනන්දු වූයේ පාසලේ අටවන සහ නව වන ශ්‍රේණිවල පටන්ය. ඇයගේ ඥාති කාන්තාවක් වූල් වලින් නිර්මාණ කරන අපූරුව දුටු ඇයට ද වූල් ගෙතීමට ආසාවක් ඇතිවිය. දිල්හානිගේ දැඩි ඉල්ලීම මත එම ඥාතීන් කාන්තාව විසින් ඇයට වූල් ගොතන්නට මූලික අඩිතාලම සකස් කර දුනි. පාසල් දිවියට සමුදුන් පසු ඇය ගල්කිස්ස british cosmatics ආයතනයේ සේවයට බැඳුණු අතර එහි සේවය කරමින් සිටින අතරතුර දී රැකියා අවස්ථාවක් සඳහා ඉතාලියට පිටත් වූවාය. ඉතාලියේ කැෆේ එකක රැකියාවක් ඇයට හිමිවිය. එහිදී ඇයට ගෙතුම් කලාව පිළිබඳව හොඳින් අධ්‍යනය කිරීමට ද අවස්ථාව උදා විය. ඉතාලිය යනු වූල් ඇඳුම් වලට ඉතාමත් ජනප්‍රිය රටකි. එමෙන්ම වූල් වලින් නිර්මාණය කරන ලද ඇඳුම් වලට ඉහළ මිලක් ඉතාලියේ දී ලබාගත හැකිවීමද විශේෂත්වයකි. එදා විනෝදාංශයක් වශයෙන් ආරම්භ කළ වූල් ගෙතීම අද වන විට ව්‍යාපාර අවස්ථාවක් බවට පත්කර ගැනීමට දිල්හානි බෝපිටිය මහත්මිය සමත්වී තිබීම සතුටට කරුණකි. ඇය පවසන්නේ මෙම කලාව බොහොම ඉවසීමෙන් සහ ශික්ෂණයෙන් යුතුව කළ යුතු බවත් භාවනාවකට මෙන් ගෙතීමට සමවැදී සිටිය යුතු බවත්ය. තවද ඇය විසින් පවසන ලද්දේ විනෝදාංශයකට වඩා මෙය හොඳ ආදායම් මාර්ගයක් කර ගැනීමටද ශ්‍රී ලාංකීය කාන්තාවන්ට අවස්ථාවක් ඇති බවයි. ඇය සතු වූල් ගෙතීමේ දැනුම බෙදා දීමට ඇය විසින් මහරගම, මොරටුව, බොරැල්ල වැනි ප්‍රදේශ වල පන්ති කීපයක් ද මේ වන විට පවත්වමින් සිටි. මෙහිදී අනෙකුත් ව්‍යාපාරික කාන්තාවන්ට වඩා ඇයගේ සුවිශේෂිත්වයක් දැකගන්නට ලැබුණි. එනම් ඇය සතු සුවිශේෂී අපේක්ෂාවකි. එම අපේක්ෂාව නම් බන්ධනාගාර රැඳවියන්ට සහ ආබාධිත පුද්ගලයන්ට මෙම කලාව නොමිලයේ ඉගැන්වීමයි. තවද ආර්ථික දුෂ්කරතා සහිත ගෘහණියන්ට මේ හරහා අවස්ථාවක් ලබාදීමට ඇය අපේක්ෂා කරයි. වූල් නිර්මාණ යනු එක් වයස් කාණ්ඩයකට පමණක් සීමා වන දෙයක් නොවේ. කුඩා දරුවන්ගේ සිට මහලු අය තෙක් මෙම වූල් යොදා ගනිමින් නිර්මාණ කළ හැකියි. තොප්පි, ස්කාෆ්, කුඩා දරුවන්ගෙ ඇදුම්, ඇඳ ඇතිරිලි, කුඩා දරුවන්ගේ සපත්තු, මේස්, ගවුම්, සාරි හැට්ට, මේසරෙදි, කූෂන් කවර, කොන්ඩ කටු, බෑග්, බිත්ති සැරසිලි, බුමුතුරුණු, කාපට් වැනිදෑ වූල් යොදාගනිමින් අපූරුවට නිර්මාණය කළ හැකියි. මෙවැනි නිර්මාණ සඳහා යන වියදම ද අඩු බව ඇයගේ නිගමනයයි. නමුත් සැලකිය යුතු කාලයක් මෙවැනි නිර්මාණ සඳහා වැය කළ යුතු බවත් ඇය පවසා සිටියාය. තවද ඇය විසින් පවසන ලද්දේ හොඳ නිර්මාණයක් රුපියල් 5000 සිට රුපියල් ලක්ෂය දක්වාත් ඉන් ඉහළටත් අලෙවි කළ හැකි බවයි. ඇත්තෙන්ම දිල්හානි බෝපිටිය මහත්මිය අනෙකුත් ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ද මහත් ආදර්ශයකි. ආර්ථික ප්‍රශ්ණ හමුවේ ලෝකයට මැසිවිලි නගනවාට වඩා මෙවැනි කලාවක් ඔස්සේ තමාගේ ආර්ථිකයද දියුණු කර ගනිමින් රටට ද සේවයක් සපයන්නට කාන්තාවකට හැකි බව දිල්හානි බෝපිටිය මහත්මිය ඉතාමත් හොඳින් ලෝකයාට පසක් කරන ලදී.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1416 Views

Comments

arrow-up