ශ්‍රී ලංකාවේ ප්‍රථම සුහුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුහුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුහුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් යනු දෛනික වැඩකටයුතු බොහෝමයක් සිදු කර ගැනීම සඳහා පුද්ගලයන් විසින් නිරන්තරයෙන්ම යන එන ස්ථානයකි. එම නිසාවෙන් එහිදී සේවා සපයන්නන් විසින් කාර්යක්ෂම සේවාවක් තම ජනතාවට ලබාදිය හැකි නම් එය කෙතරම් වටිනවාද.

 

කාර්යක්ෂමතාවය ඉහල නැංවීම සඳහා පවතින හොඳම විසඳුමකි කාර්යාලය තුළ සුහුරු පරිසරයක් ඇති කිරීම. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුහුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බුලත්සිංහල ප්‍රදේශයේ නිර්මාණය වී ඇත. කෙටි පණිවිඩ, ෆේස්බුක් සහ viber තාක්ෂණයෙන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් කාර්යබහුල ජනතාවට ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් හැදූ දිවයිනේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉතිහාසයට එක් වී තිබේ. කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් වැඩිම ස්වභාවික ආපදා අවදානමක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වශයෙන් හඳුනාගෙන ඇත්තේ මෙම බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බව ඔබ දන්නවාද. එවන් පසුබිමක වසරකට පමණ පෙර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පත්වීම් ලැබූ රංගන ප්‍රසාද් පෙරේරා නම් වූ නව තරුණ ප්‍රාදේශීය ලේකම් වරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදුවිය යුතු ජනතා මෙහෙවර අලුත් විදියට පහසු ක්‍රමයකින් ඉටුකර දීමට කටයුතු සූදානම් කළේය. නිරන්තරයෙන්ම විවිධ ස්වභාවික ආපදාවන්ට මුහුණ දෙන බුලත්සිංහල වැසියන්ට බියකින් හා සැකයකින් තොරව තම ජීවිකාව ගෙනයාමට හැකි ක්‍රමවේදයක් නව තාක්ෂණය ඔස්සේ හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් ඒ අනුව දියත් කෙරුණි. ඒ අනුව අවශ්‍ය සියලුම තොරතුරු එක් රැස්කර අලුත් සැලැස්මක් යටතේ දිවයිනේ ප්‍රථම ස්මාර්ට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට බුලත්සිංහල පත් කිරීමට එම ප්‍රාදේශීය ලේකම්වරයා සහ නිලධාරී මණ්ඩලයට හැකියාවක් ලැබී ඇත. කිසියම් පුද්ගලයකු තමාට අවශ්‍ය සේවාව ලබාගැනීමට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පසුව ඔහුට හෝ ඇයට සිදු කිරීමට ඇත්තේ තමාට අවශ්‍ය සේවාවට අදාල වන්නාවූ පෝරමය සම්පූර්ණකර ලේකම් කාර්යාලයට භාර දීම පමණි. පසුව අදාළ කාරණාව සිදු කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලබා දෙන අතර ඉන් අනතුරුව පැමිණ තමාගේ ලේඛන ආදිය ලබා ගැනීමට මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ජනතාවට අවස්ථාව සලසා දී තිබේ. අනවශ්‍ය ලෙස කාර්යාලයේ රැඳී සිටිමින් ජනතාවගේ කාලය අපතේ යාමක් මෙහිදී සිදු නොවේ. තමාගේ අවශ්‍යතාවය ඉටු වී ඇතිද නැතිද යන්න බැලීම සඳහා කීප වරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාමට මෙහිදී පුද්ගලයන්ට සිදු නොවේ.

 

 

එමෙන්ම මුහුණු පොතේ පිටුවක් ද මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නමින් විවෘත කර ඇති අතර අද වන විට 2600 ක පමණ පිරිසක් ඊට එක් වී සිටි. ඒ හරහා බලාපොරොත්තු වන්නේ ගම් වල තිබෙන ගැටළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගෙන්වා ගැනීමයි. ඉන් අනතුරුව ක්ෂණිකව එම ගැටළු වලට පිළිතුරු මුහුණුපොත හරහාම ලබා දීමක් සිදු කරයි. මෙහිදී ක්ෂණිකව රැස්වීම් කැඳවීමටත් හදිසි රැස්වීමක් අවලංගු කිරිමටත් හැකියාවක් පවතී. තවද හදිසි ආපදා තත්ත්වයකදී ඉක්මනින්ම ජනතාව දැනුවත් කිරීමටත් මෙම මුහුණු පොත හරහා සහ මැසෙන්ජර් හරහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට හැකිවී තිබේ. තවද පුද්ගලයන්ට පවතින විවිධ ගැටළු වයිබර් හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් අනතුරුව විනාඩියක් ඇතුලත ඊට අවශ්‍ය පිළිතුරු ලබාදීමටද අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. ඇත්තෙන්ම මෙය වර්තමානයට වඩාත් වටින සාධනීය පියවරකි. දිනෙන් දින තාක්ෂණයෙන් ඉදිරියටම යන පුද්ගලයන්ට මෙවැනි සුහුරු අත්දැකීමක් නිරන්තරයෙන් ම ප්‍රයෝජනවත් වේ. අනෙකුත් රාජ්‍ය ආයතන වලටත් මෙවැනි සුහුරු අත්දැකීම් භාවිත කිරීමට හැකියාවක් පවතී නම් පවතින තත්ත්වයට වඩා රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1428 Views

Comments

arrow-up