කොරෝනා අස්සේ කරන වංචනික වෙළදාම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

කොරෝනා අස්සේ කරන වංචනික වෙළදාම්

කොරෝනා අස්සේ කරන වංචනික වෙළදාම්

කොරෝනා උවදුර මුළු මහත් සමාජයම බියවද්දා ඇති මොහොතක මෙම තත්වය පදනම් කරගෙන වෙළඳ ජාවාරම් බිහිවී ඇති බව ඔබ දන්නවාද? කොරෝනා නිට්ටාවටම සුව කළ හැකි ඖෂධ පිළිබඳව සිදු කෙරෙන වෙළෙඳ ප්‍රචාරණඅද රූපවාහිනි නාළිකා, පුවත්පත්, ගුවන්විදුලිය හා සමාජ මාධ්‍ය ජාලා තුළ සුලබව දැක ගත හැක.විවිධ ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලබන විවිධ පැණි වර්ග, කසාය, චූර්ණ, පේයාව, දුම් වර්ග පිළිබඳ වැඩි ප්‍රචාරයක් මේ දිනවල දැක ගත හැක. ජනතාව තුළ මෙම රෝගයට ඇති බිය විකුණා ගනිමින් මුදල් ඉපයීමේ ව්‍යාපාර ඇරඹී තිබේ. නමුත් සෑම විටම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ උණුවතුර පානය කිරීමත් ජල වාෂ්ප ආඝ්‍රහනය කිරීමත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග සඳහා සහනයක් වන නමුත් මේ කිසිවක් රෝගයට පිළියම් නොවන බවයි.


එසේම මහමඟ 50.00 සිට රු. 300.00 දක්වා මිල ගණන් යටතේ මුඛ ආවරණ අලෙවි කරනවා ඔබ දැක ඇති. නමුත් එහි ප්‍රමිතිය කිසිවකු සොයා නොබලයි. ජනතාවට තමන් පැළඳිය යුතු මුඛ ආවරණ වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නොමැත. ඇතැම් මුඛ ආවරණ වරක් පාවිච්චි කර ඉවතට දැමිය යුතු නමුත් ඒ පිළිබඳව දැනුවත් නොවීම නිසා සමහරු මුඛ ආවරණ ඉවත නොදමා සෝද සෝදා පාවිච්චි කරන තත්වයට පැමිණ තිබේ. නමුත් සාමාන්‍යයෙන් එදිනෙදා පරිහරණයට රෙදි මුඛ ආවරණ භාවිත කිරීම ගැටලුවක් නොවේ.

 


විශේෂයෙන්ම වෛද්‍ය නිර්දේශය වන්නේ සබන් යොදා හොඳින් දෑත් පිරිසිදු කරන්නේ නම් සැනිටයිසර් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි. නමුත් අද වන විට විවිධාකාර වෙළඳ නාම යටතේ සැනිටයිසර් වර්ග රාශියක් වෙළෙඳපොළට පැමිණ තිබේ. ඉන් ඇතැම් සැනිටයිසර්වල මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇත. එබැවින් ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක ඇතැම් සංයෝග අඩංගු සැනිටයිසර් තහනම් කර තිබේ. ඇතැම් පුද්ගලයන්‍ට සැනිටයිසර් පාවිච්චි කළ විට අත් කැසීම, අත් හම යෑම වැනි ආසාත්මිකතා ඇතිවිය හැක. නමුත් මෙලෙස වෙළඳපොළට එන සැනිටයිසර්වල අඩංගු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමක් සිදු වන්නේ නැත. මේ නිසාම බොහෝ දෙනා බාල ප්‍රමිතියෙන් යුත් සැනිටයිසර්ස් නිෂ්පාදනය ලාභදායී ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබේ.


කොරෝනා වසංගතය හමුවේ ව්‍යාපාර පරිසරය වෙනස් ව ඇති බව සැබෑය. මේ නිසා ඊට අනුරූපව සිය ව්‍යාපාර අවස්ථා වෙනස් කරගත යුතුය. නමුත් මේ සියල්ල සමාජ සාධාරණත්වයට සහ පුද්ගලයන්ට සෞඛ්‍යයට හිතකර අන්දමින් ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුය. එය වංචනික ව්‍යාපාර දාමයක් බවට පත්කර ගැනීම සුදුසු නොවේ.

 

 

 

 

 

by Dilki Shamani

Photo source: Internet

views

588 Views

Comments

arrow-up