Covid 19 සමඟ කරළියට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා...
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

Covid 19 සමඟ කරළියට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා...

Covid 19 සමඟ කරළියට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා...

මේ දිනවල අපේ රටෙන් කොරෝනා වෛරසය තුරන් කිරීමේ සටනෙහි පෙරමුණ රැගෙන කටයුතු කරන පිරිසකි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්. වෛද්‍යවරුන් නොසිටින්නට මේ වන විට අපට අත්විය හැකි ඉරණම ඉතාමත් භයානක වන්නට තිබුණි. මේ දිනවල ජනතාව වෛද්‍යවරුන් හඳුන්වන්නේ මිහිපිට වැඩ වසන ජීවමාන දෙවිවරු වශයෙන්. මෙම වසංගත තත්ත්වයත් සමග බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු ශ්‍රේෂ්ඨ වෛද්‍ය චරිතයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම. ඔහු අංගොඩ IDH රෝහල නොහොත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතාය. IDH රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාත් අතර ඇත්තේ ගසට පොත්ත වැනි බැඳීමකි.

 

ඔහුගේ පියා වෛද්‍ය පියදාස නාරංගොඩ මහතා වන අතර මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ඔහු පැමිණෙන්නේ 1999 වර්ෂයේදී. ගුරුවරියක මෙන්ම විදුහල්පතිනියක වූ ඔහුගේ මවද ඔහුගේ මෙම ගමනට නිබඳවම අත්වැලක් විය. සීමාවාසික පත්වීම ලබා ඔහු පළමුව පැමිණෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටයි. ඒ 2000-2001 වසරේදී. විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය විභාග සමත් කර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන්නේද කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටියදීමයි. ඒ පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගන්නේ ඕස්ට්‍රේලියාවේදී. වෛද්‍ය එරංග නාරංගොඩ මහතා වෛද්‍යවරයෙකු වී වසර කිහිපයකට පසු ඔහුගේ සොහොයුරාද වෛද්‍ය වෘත්තියට පිවිසියේ අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසයි. මේ දිනවල කොරෝනා සටනට උරදෙමින් අයි ඩී එච් රෝහලේ කොරෝනා රෝගීන් සුවපත් කිරීමේ පියවරෙහි මුල් පුරුකේ සිටින ඔහු පිළිබඳ අද සෑම දෙනාම කතාබහ කරන්නේ ඉතාමත් ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකිනි.

 

මෙම මිනිසාගේ ජීවිතය බෙදා ගත් ඇයද වෛද්‍යවරියකි. නිශානි සෙනරත් වෛද්‍යතුමිය කොළඹ ජාතික රෝහලේ රක්තවේදය සම්බන්ධ සායනය සමග සම්බන්ධවීමෙන් කටයුතු කරයි. ඇයගේ පියාද එරංග වෛද්‍යතුමාගේ පියාද මිතුරන් වීම ද විශේෂත්වයක්. දිනපතාම පැය කිහිපයක්ම කොරෝනා රෝගීන් සමග ගැටෙන නිසා සවසට සිය නිවසට ගියත් නිවසේ අයගෙන් තරමක් වෙන්වී සිටීමට දැන් ඔහුට සිදු වී තිබේ. එකම නිදන කාමරය පවා භාවිතා කරන්නේ නැති තරම්. IDH රෝහලේ මේ ගත කරන්නේ විශේෂඥ වෛද්‍යවරයාගේ තුන්වන වසරයි. ඔහුට මෙම රෝහලට පැමිණි දිනයේ පටන් බොහෝ විට ගැටෙන්නට සිදු වුයේ බෝවන රෝගීන් සමඟයි. එහෙත් මෙවර පැමිණි Corona අත්දැකීම වෛද්‍ය වෘත්තියේ සදා අමතක නොවන සිදුවීම් රැසක් මතකයට එක් කළ දෙයක් බව ඔහු ප්‍රකාශ කර ඇත. කොරෝනා රෝගීන් පරීක්ෂාවට පෙර රෝහලේ විවේක කාමරයේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කොට තබා ආරක්ෂිත ඇඳුම් කට්ටලය ඇතුළු සියලු උපාංග ඇඳ පැළඳ රෝගීන් පරීක්ෂාවට යාමට ද ඔහු අමතක නොකරයි. ඔහුගේ පවතින විශේෂත්වය වන්නේ හැකිතරම් රෝගීන්ට හෘදයාංගම වෙමින් ඔවුන්ව සුවපත් කරන්නට නිරන්තරයෙන් වෙහෙස වීමයි. වෛද්‍ය වෘත්තියේ උපරිම ඵල නෙළා ගැනීමට හොඳම අවස්ථාවක් මේ වන විට විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතාට ලැබී ඇත. ඔහුගේ සේවය අපේ රටට අවශ්‍යම කාලයකි මෙම කාලය. වෘත්තීය වශයෙන් මෙන්ම ආගම දහමට අනුව ආධ්‍යාත්මික සැනසීමක් ලබා ගැනීමටත් ඔහුට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක්. එම අවස්ථාව පැහැර නොහරිමින් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට තරම් ඔහු භාග්‍යවන්තයකු වී ඇතැයි ප්‍රකාශ කළ යුතුමයි. සැබැවින්ම මෙවැනි උතුම් පුද්ගලයන් ලාංකිකයන් වශයෙන් අපි විසින් සැමදා අගය කළ යුතුමයි. මෙම වසංගතය ශ්‍රී ලංකාවෙන් කිසියම් දිනයක පහව ගියද මෙවන් වෛද්‍යවරුන් විසින් සිදු කළ අමිල මෙහෙවර සැමදා මතකයේ රඳවා ගැනීම කළ ගුණ දත් ජාතියක් වශයෙන් අපගේ යුතුකමක්ම වන්නේය.

 

 

 

 

 

 

 

 

 

By Dilki Shamani

Photo Source : Internet

views

553 Views

Comments

arrow-up