ඉපැරණි ලෝක පුදුම හත - 1

ලෝකයේ අරුම පුදුම ස්වාභාවික උරුමයන් සහ මිනිසා විසින් ඉදි කරන ලද විශ්මයජනක ව්‍යුහයන් ලැයිස්තුගත කිරීම සඳහා පුරාණ කාලයේ සිට වර්තමානය දක්වා විවිධ ලෝක පුදුම ලැයිස්තු සම්පාදනය කර ඇත. එලෙස සකස් කල ලැයිස්තු අතරින් හඳුනාගත් පැරණිම ලැයිස්තුවේ ඉතිහාසය ක්‍රි.පූ. පළමු හෝ දෙවන සියවස දක්වා දිව යන අතර එය ඉපැරණි ලෝකයේ ලෝක පුදුම හත ලෙස වර්තමානයේ ප්‍රසිද්ධ වී ඇත. මෙම පළමු ලැයිස්තුව සංචාරකයන් සඳහා මාර්ගෝපදේශ පොතක් ලෙස භාවිතා විය. පුරාණ විද්වතුන් විසින් සම්පාදනය කර ඇති මෙම ලැයිස්තුව ලොව විවිධ රටවල වාසය කල මිනිසුන් විසින් ඉදි කරන ලද ගෘහ නිර්මාණ ශිල්පය අතින් හා ඉංජිනේරු විද්‍යාත්මක වශයෙන් විශ්මයජනක කේන්ද්‍රස්ථාන හතකින් සමන්විත වන අතර ඒවා පුරාණ ලෝකයේ මිනිසාගේ නව නිපැයුම් බිහි කිරීමේ හැකියාව, නිර්මාණාත්මක හැකියාව, ශක්තිය හා කැපවීම මැනවින් පෙන්නුම් කිරීමට සමත් වේ.
මෙම ලැයිස්තුවට ස්ථාන හතක් තෝරා ගෙන ඇත්තේ එහි ආරම්භය සිදු වූ ග්‍රීසියේ වැසියන් විසින් හත සංඛ්‍යාව පරිපූර්ණත්වය නියෝජනය කරන බව විශ්වාස කළ නිසාත්, එය එකල ඔවුන් දැන සිටි ග්‍රහලෝක පහේත්, සූර්යයාගේත්, චන්ද්‍රයාගේත් එකතුවට සමාන නිසාත්ය.
ඉපැරණි ලෝක පුදුම හත
- ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩය
- ග්‍රීසියේ ඔලිම්පියාහි සියුස් දේව ප්‍රතිමාව
- ඉරාකයේ බැබිලෝන්හි එල්ලෙන උද්‍යානය
- තුර්කියේ Halicarnassus හි සොහොන් ගෙය
- ග්‍රීසියේ ආටෙමිස් දේවාලය
- ග්‍රීසියේ රෝඩ්ස්හි කොලෝසස්
- ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය
මෙම පුරාණ ලෝක පුදුම හතෙන් එකක් හැර අන් සියල්ලම වර්තමානයේ දක්නට නොලැබෙන අතර ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩය පමණක් පැරණි ලෝක පුදුම හතෙහි අවසාන සාක්ෂිය ලෙස තවමත් පවතී.
Halicarnassus හි සොහොන් ගෙය, ග්‍රීසියේ රෝඩ්ස්හි කොලෝසස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය, සියුස්ගේ ප්‍රතිමාව සහ ආටෙමිස් දේවාලය වර්තමානයේ සම්පුර්නයෙන්ම විනාශ වී ඇත. බැබිලෝන්හි එල්ලෙන උද්‍යානයේ නිශ්චිත පිහිටීම හා මූලාරම්භය අපැහැදිලි වන අතර එම ස්ථානය කවදා හෝ සත්‍ය වශයෙන්ම පැවතියේද යන්න පිළිබඳවද යම් විවාදයක් පවතී.
කෙසේ වෙතත් මෙම ලැයිස්තුවෙන් ආවරණය වූයේ එවකට ග්‍රීක වැසියන් ගවේෂණය කර තිබු ප්‍රදේශ වූ මධ්‍යධරණි හා මැද පෙරදිග රට වල ඉදි කර තිබු වාස්තු විද්‍යාත්මක ස්මාරක පමණි. තවද මෙම නිර්මාණ හතෙන් පහක්ම (ගීසාහි පිරමිඩය සහ බැබිලෝන්හි එල්ලෙන උද්‍යානය හැර) පුරාණ ග්‍රීක වැසියන්ගේ කලාව, ගෘහ නිර්මාණ ශිල්පය හා දක්ෂතාවය විදහා දැක්වෙන ඉදි කිරීම් වේ.
by Sajini Ishanthi
Photo Source: Internet
2781 Views
Comments