ඔබේ දරුවා පිළිබඳව වගකීම මෙන්ම වග වීමත් වැදගත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

ඔබේ දරුවා පිළිබඳව වගකීම මෙන්ම වග වීමත් වැදගත්

ඔබේ දරුවා පිළිබඳව වගකීම මෙන්ම වග වීමත් වැදගත්

කුඩා දරුවන් මල් වැනියි. ඔවුන්ගේ සිත් වැඩිහිටියන්ගේ මෙන් නොව ඉතාමත් පිරිසිදුයි. දරුවන් යනු දරුවන් මිස වෙන කවුරුන් ද. දරුවන් කවුරුන්දැයි ඔබ හඳුනා නොගන්නා තාක්කල් ඔබට දරුවන්ගෙන් බලාපොරොත්තු වන දේ ලබා ගැනීමට නොහැකි වේවි. දෙමව්පියන් වශයෙන් දරුවෙකු හදා වඩා උස් මහත් කර සමාජයට මුදා හරින්නේ කෙසේද ඉන් පසුව දරුවාගේ වගකීම සහ දරුවා ගැන වගවීම තිබෙන්නෙත් දෙමව්පියන් සතුව බව ඔබ දන්නවාද. දරුවෙකු යනු ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව ඔබ දැනටමත් දනී.

 

දරුවන් මවුපියන්ගෙ වුණාට දරුවන් කියන්නේ ස්වභාව ධර්මයේ කොටසක්. එනම් මනුෂ්‍යයාගේ ජීවිතයේ ස්වභාවිකව සිදුවන ක්‍රියාවක ප්‍රතිඵලයක් තමයි දරුවන් කියන්නේ. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කර ඇත්තේ මවගේ සහ පියාගේ සිතුම් පැතුම් ආකල්ප කළල අවධියේදී ම දරුවාට ලැබෙන බවයි. එනම් දරුවාට මව ගේ සිතුම් පැතුම් සෘජුවමද පියාගේ සිතුම් පැතුම් වක්‍රාකාරයෙන්ද බලපාන බවයි. දරුවෙකු මව්කුස පිළිසිඳ ගත් මොහොතේ පටන් මවගේ ශරීරයේ හෝමෝන නිපදවමින් මාතෘත්වයට අවශ්‍ය කරුණු ගොඩ නැංවෙන අතර මවගේත් දරුවාගේත් ආත්මීය බැඳීම ආරම්භ වන්නේ එවිටයි. ඉන් අනතුරුව ජීවිත කාලය පුරාවටම එම බැඳීම පවත්වා ගැනීමට දෙමාපියන් වශයෙන් ඔබ උත්සාහ දරනවා නේද. නමුත් මවුපියන්ට දරුවන් ගැන හැඟීමක් නොමැති නම් ඔවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජීවිතයේ ඉටුකර ගැනීමට නොහැකි වුණු සිහින ඉටු කර ගැනීමට නම් එය කිසිදිනක සාර්ථක වන්නේ නැහැ. ඔබේ දරුවන් පෝෂණය කරමින් උස්මහත් කළද දරුවන් ඔබේ සිහින කරපින්නා ගෙන ඒ මත්තේම දිවීම අවශ්‍ය නොවේ. දෙමව්පියන් වශයෙන් ඔබ විසින් සිදු කළ යුත්තේ ඔවුන් ආත්ම ගණනාවක් පුරා ගෙනා දක්ෂතා සහ හැකියා සමඟින් ඔවුන්ට ගමන් කිරීමට ඉඩ හසර වෙන් කර දීමයි. දරුවන් නිසි මගට යොමු කිරීමට උත්සාහ කරන දෙමව්පියන් දරුවාගේ වගකීම මෙන්ම දරුවා වෙනුවෙන් වගවීමත් භාරගත යුතුයි. ඒ සඳහා දෙමව්පියන් විසින් යම් යම් කරුණු කාරණා කිහිපයක් ඉටු කළ යුතුයි.

 

 

 

දරුවාට නිසි පෝෂණය ලබා දීම, භාෂාව නිවැරදිව හැසිරවීමට දරුවාට ඉගැන්වීම, චාලක හැකියාව වර්ධනය කිරීමට උදව් දීම, සමාජානුයෝජනය මගින් තමන්ගේකම ඉගැන්වීම, චිත්තවේගී වර්ධනයට උපකාර කිරීම, සදාචාර වර්ධනය යනාදිය එවැනි කරුණු කිහිපයකි. මේ සියල්ලක්ම ඉටුකිරීමට නම් දෙමව්පියන් එම කරුණු කාරණා සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබේ දරුවන්ට නිවැරැදි මාර්ගයේ යන්න ඔබ උදව් කරන්න. ඔබගේ සිහින පසුපස හඹා යන යන්ත්‍ර වැනි දරුවන් නිර්මාණය කිරීමට ඔබ කිසිදිනක දායක නොවන්න. දෙමව්පියන් වශයෙන් ඔබගේ වගකීම සහ වගවීමද නිවැරදිව තේරුම් ගනිමින් ජීවත්වීම තුළින් ඔබගේ දරුවන් මතුයම් දිනක ඔවුන්ගේ ජීවිතය ජය ගනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

946 Views

Comments

arrow-up