අහම්බෙන් අපේ රටට පැමිණි සීතල දේශයේ මුහුදු මිතුරා

ධ්‍රැවාසන්න සීතල බිම් මත අයිස් ස්තරයන් තුළ වාසය කරන සීල් වර්ගයට අයත් ක්ෂීරපායි සත්වයන් පිළිබඳ සකස් කළ වාර්තාමය වැඩසටහන් ඔස්සේ සීල් සත්වයන් පිලිබඳවත් එම සත්වයන් ගේ හැඩරුව පිලිබඳවත් දැකගත හැකි අතර ලංකාවේ පුද්ගලයන්ට එබඳු සත්ත්වයකු හැබැහින් දැකගත හැකි වීම සැබැවින්ම අපූර්ව අත්දැකීමක් වෙනවා. මේ දුර්ලභ අවස්ථාව පසුගියදා ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව උදාවී තිබුණා. මේ ආකාරයට මුහුදු වෙරළට සමීපව ගැවසෙන සීල් ලෙස හඳුන්වනු ලබන සත්වයා මුල්වරට අප රට තුළ දී වාර්තා වූ සීල් වර්ගයට මුහුදු සත්වයෙක් ලෙස හඳුන්වනවා.
ෆොසිඩේ කුලයට අයත් ක්ෂීරපායි සත්ත්වයකු ලෙසින් හඳුනාගත හැකිවූ ධ්‍රැවාසන්න කලාපවල ජීවත්වන සීල් මත්ස්‍යයා ශ්‍රී ලංකාවේ දකුණුදිග මුහුදු තීරයේ සිට උණවටුන මිහිරිපැන්න වෙරළ තීරය ආශ්‍රිතව නිරීක්ෂණය කළ විට දැක ගත හැකිව තිබුණා. මෙම සත්ත්වයාගේ ආරක්ෂාවට සහ මේ සම්බන්ධ වැඩිදුර සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පොලිසියේ සමුද්‍රය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ මිරිස්ස සමුද්‍ර සංරක්ෂණ ඒකකයේ වනජීවි නිලධාරීන් එක්ව උණවටුන මිහිරිපැන්න මිදිගම වෙරළාසන්නයේ රැදී සිටිමින් මේ සතා හැසිරීම් අධ්‍යයනය කර තිබෙනවා.
සමකාසන්න උණුසුම් රටවල් ආශ්‍රිතව මෙවැනි සතුන් ජීවත් නොවූවත් සෞම්‍ය දේශගුණයක් පවතින ධ්‍රැවාසන්න සීතල වෙරළාරක්ෂක කලාපයේ සිටි ජලයේ බොහෝදුරට පිහිනා යමින් ගැඹුරේ කිමිදෙමින් කරදිය වාසී සත්ත්වයාන් ගොදුරු කර ගමින් විශාල රංචු ලෙස සීල් වර්ගයට අයත් ක්ෂීරපායී සත්වයෝ ජීවත් වෙනවා. අහඹු ලෙස ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය ආශ්‍රිතව පළමු වතාවට වාර්තා වූ මේ සත්වයා ආහාර සොයා සිදු කළ සංචාරය අතරතුරදී දිය වැලකට හසුවූ බවත් පසුව ශ්‍රී ලංකාව දෙසට ගසාගෙන එන්නට ඇති බවත් අනුමාන කෙරෙනවා.
වෙරළාසන්න ගල්පර මතට ගොඩ වූ සත්ත්වයා වෙත සමීපවී පරික්ෂා කිරීමේදී දැකගත හැකිවී තිබෙන්නේ සම ඉවත්ව යමින් අලුත් සමක් වර්ධනය වන අවස්ථාවේ මේ සියලු සත්වයා පසුවෙන බවයි. ඇතැමුන් තුවාල කැළැල් ලෙස අර්ථ දක්වා ඇත්තේ මේ තත්ත්වයයි. සීල් සත්වයන්ගේ චර්යා රටාවන් පිළිබඳව අධ්‍යනය කිරීමේදී පැහැදිලිව තිබෙන්නේ සිරුරේ පැරණි හම ඉවත් වීම ආරම්භ වත්ම අලුත් සමක් වර්ධනය වන තෙක් කාලයේ ගොඩබිම ආශ්‍රිතව ගල්පර අයිස් කුට්ටි වැනි ස්ථානවල විවේකීව ගත කිරීමට මෙම සතුන් ප්‍රියතාවයක් දක්වන බවයි. අපේ රටට ආ මේ අමුත්තාට ආහාර වල නම් අඩු පාඩුවක් නැති බවයි පෙනී යන්නේ. සති තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ ආශ්‍රිතව රැඳී සිටි මේ සත්වයා ඔහුගේ නිජ බිම වෙත ආපසු යන්න උත්සාහයක් දරන බවයි වාර්තා වෙන්නේ.
by Dilki Shamani
Photo Source: Internet
544 Views
Comments