හදවතේ හැඩය ඇති ඇන්තුරියම් මලට ආදරය කළ ඇය

ඇන්තූරියම් යනු කාගෙත් සිත් ඇදගන්නා සුළු, ගෙමිදුලට වඩාත් අලංකාරයක් එක් කළ හැකි මල් විශේෂයකි. බොහෝමයක් නිවෙස්වල මෙම ඇන්තූරියම් එක පෝච්චියක් හෝ දක්නට ලැබෙයි. එතරම් ප්‍රමාණයකට අප රට තුළ ඇන්තූරියම් වගාව බහුලව ව්‍යාප්ත වී පවතී. ඇන්තූරියම් වගාව සාර්ථකව සිදුකළ හොත් ඉහළ ආදායම් ඉපැයිය හැකි මල් වගාවක් වශයෙන්ද පෙන්වා දිය හැකියි. තවද ඇන්තූරියම් මල් සඳහා විදෙස් වෙළෙඳපොළ තුළ ද ඉහළ ඉල්ලුමක් පවතී. කැපූ මලක් ලෙස දිගු කාලයක් තබා ගැනීමට හැකිවීම සහ විවිධ වර්ණවලින් යුත් මල් වැනි කාරණා එයට හේතුවී ඇත. තවද අප රට තුළ පවතින්නේ ඇන්තුරියම් වගාවට වඩාත් හොදින් ගැලපෙන දේශගුණික තත්වයක් වීමද ඇන්තූරියම් වගාව සාර්ථකව දියත් කිරීමෙහිලා වැදගත් වී ඇත. ඇන්තූරියම් වගාව පිළිබඳව කතා කරනවිට කතා නොකරම බැරි කාන්තා චරිතයක් අප අතරම සිටී. වසර 35 කට පමණ පෙර ඇන්තුරියම් වගාව සඳහා යොමු වී වර්තමානයේ දී දෙස් විදෙස් ප්‍රචලිත නාමයක් දිනාගත් ආසියාවේ විශාලතම ඇන්තූරියම් වගා මධ්‍යස්ථානයේ හිමිකාරිය වන දේශශක්ති යාමිකා ගුණවර්ධන මහත්මිය පිළිබඳව මෙම ලිපිය ඔස්සේ දිග හැරේ.
යාමිකා මහත්මිය උසස් පෙළ විභාගය අවසන් කිරීමෙන් අනතුරුව නිවසේ රැඳී සිටින කාලයේදී කිසියම් හෝ වගාවක් කෙරෙහි උනන්දුවක් ඇතිවිය. ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් විවිධ මල් වර්ග වැවීම සිදු කළ ද ඇයගේ සිත් ගත්තේ ඇන්තුරියම් මල් වගාවයි. මේ අතරතුර දිනයක එක්තරා පුවත්පතක තිබූ දැන්වීමක් කෙරෙහි ඇගේ අවධානය යොමු විය. එම පුවත්පතේ පළවී තිබුණේ ඇන්තුරියම් වගාව අපනයන තත්ත්වයකට සිදුකිරීමට හැකි අය පැමිණෙන ලෙසටයි. ඊට පෙර සිටම විවිධ වර්ගයේ ඇන්තූරියම් පැල ඇය විසින් වගා කළ අතර මුලින්ම පැල නමසීයක් පමණ ප්‍රමාණයක් විනාශ විය. නමුත් එයින් පසුබට නොවුණු ඇය තව තවත් ඇන්තුරියම් වගාවට යොමු වූවාය. ඇන්තුරියම් පැල හරහා තව තවත් පැළ බෝ කර ගනිමින් වගාව ව්‍යාප්ත කර ගැනීමට ද ඇයට ටික කලකින් හැකියාවක් ලැබිණි. ටික කාලෙකින් පසුව ඇය විසින් නෙදර්ලන්තයෙන් ඇන්තුරියම් වර්ග බොහෝමයක් ගෙනවිත් වගා කර තව තවත් ඇගේ ඇන්තූරියම් වගාව පුළුල් කර ගන්නට සමත් විය. එම සිදුවීමත් සමග බොහෝ දෙනෙක් ඇයගේ මෙම වගාව පිළිබඳව උනන්දු වූ අතර ඇය විසින් ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ආරම්භ කරමින් ඔවුන්ට සාර්ථක වගාවක් ආරම්භ කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කර දෙන්නටද අමතක නොකළාය. අද වනවිට ඇය විශාල ඇන්තූරියම් වගාවක හිමිකාරිනියක් බවට පත්වී හමාරයි. විවිධ වර්ණවලින් යුතු ඇන්තුරියම් විශේෂ ඇය සතුවන අතර කළු, කහ සහ කොළ වැනි වර්ණ වල ඇන්තුරියම් සුවිශේෂී වේ. මුල් කාලයේදී වගාකරුවන් සියයක් පමණ ප්‍රමාණයක් මෙම වගාවට සම්බන්ධ වී සිටි අතර අද වන විට උතුරු පළාත හැර දිවයින පුරා එකොළොස් දහසක් පමණ ප්‍රමාණයක් ඇය හා සම්බන්ධ වී සිටීම සතුටට කරුණකි. එම පුද්ගලයන් සඳහා රජයේ සහ පුද්ගලික අංශයෙන් අඩු පොලියට ණය ආධාර, උපදෙස් ,අවශ්‍ය ගුණාත්මක පැළ වර්ග, පසුවිපරම් නිෂ්පාදනය ආදී සියලුම දේද ලබාදීමට ඇය කටයුතු සම්පාදනය කර ඇත. ඇයගේ මෙම වගාව සහිත ආයතනය sound of anthurium යන නමින් පවත්වාගෙන යයි. එම ආයතනය ගොඩනැගීමේ අරමුණ ලෙස ඇය විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම ව්‍යාපාරය අනාගත පරපුරට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා හැකියාවක් ලබා දීම බවයි. මෙම ආයතනයට විදේශිකයන් පවා පැමිණෙන අතර නව මල් වර්ග නිෂ්පාදනය හා ව්‍යාප්ත කිරීම ද සිදු කරනු ලබයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් වලින් සපිරි පර්යේෂණාගාරයක් ද එහි ඇත. මෙම ආයතනයේ පවතින සුවිශේෂීත්වය වන්නේ ඔවුන් සතුව ඇති වඩාත් කැපීපෙනෙන දැක්මයි. ව්‍යවසායකයින් මිලියනයක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීම එම දැක්මයි. එමෙන්ම අද වන විට යාමිකා මහත්මියගේ මෙම ආයතනය දකුණු ආසියාවේ විශාලතම ඇන්තුරියම් මධ්‍යස්ථානය බවට ද පත්වී තිබේ. ඉදිරියටත් තම ව්‍යාපාරය තුළින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සේවයක් ලබාදීමට ඇය බලාපොරොත්තු වීම ද අගය කළ යුතුයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
24226 Views
Comments