ඔබටත් නින්දේදී කවුරුන් හෝ කතා කරනවාද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

ඔබටත් නින්දේදී කවුරුන් හෝ කතා කරනවාද

ඔබටත් නින්දේදී කවුරුන් හෝ කතා කරනවාද

පුද්ගලයන් වශයෙන් අපට යම් යම් මානසික තත්ත්වයන් විවිධාකාරයෙන් බලපානු ඇත. යම් කෙනෙක්ට කිසියම් සිද්ධියක් බලපාන ආකාරයට නොවේ තවත් පුද්ගලයෙකුට එම සිද්ධිය බලපානු ලබන්නේ. මෙහිදී කලබල විය යුතු නැත. නිසි පරිදි නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න මානසික තත්ත්වයක් ළං කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. මෙවැනි මානසික ගැටලුවකි නින්දේ දී තමාට කවුරුන් හෝ කතා කරනවා වැනි හැඟීමක් දැනීම හෝ ඇසීම. මෙය ඔබට ද පවතින ගැටලුවක් වන්නට පුළුවනි. එමෙන්ම ඔබගේ සහෝදරයකුට, යහළුවෙකුට, ලඟින්ම ආශ්‍රය කරන කෙනෙකුට වුවද ඇතිවිය හැකියි. මෙවැනි ගැටලු පවතින බොහෝමයක් දෙනා තවත් කෙනෙකුට එය පැවසීමට කිසියම් බියක් දක්වයි. මක්නිසාද තමාට පිස්සු යැයි ඔවුන් සිතන්නට ඉඩකඩක් ඇති නිසාවෙනි. එබැවින් මෙවැනි පුද්ගලයන් පසු වන්නේ මහත් අසහනකාරී තත්ත්වයක් තුළයි. ඇතැම් පුද්ගලයන් විසින් මෙම තත්ත්වය කිසියම් අද්භූත බලවේගයක් වශයෙන් ද පවසන අවස්ථාවන් බොහෝමයක් වර්තමානයේ දී විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. නමුත් කිසියම් පුද්ගලයකුගේ සිතට මෙවැනි හැඟීම් පැමිණීම කිසිදු හෝ අද්භූත බලවේගයක් නිසාවෙන් නොවන බව හොඳින් අවබෝධ කරගත යුතුයි. වෙනත් පුද්ගලයකුට හෝ බලවේගයකට තමන්ගේ මනසට බලපෑමක් ඇතිවන දේවල් කළ නොහැකියි. ඇත්තෙන්ම මෙවැනි හැඟීම් පුද්ගලයන් විසින් තමාගේම මනසේ නිර්මාණය කරගන්නා කිසියම් සංසිද්ධීන් සමූහයක් බව ද කිව යුතුයි.

 

 

කෙනෙකු සිහිනෙන් කතා කිරීම, යම් යම් දේ කිරීමට නියම කිරීම ආදිය සුළු මානසික රෝග වලදී සහ බරපතළ මානසික රෝගවල දී ඇතිවන තත්ත්වයන් වේ. මෙම තත්වය මත ඔහු හෝ ඇය මානසිකව කඩා වැටී බිය වී සිටින නිසාවෙන් අවශ්‍ය වන්නේ මනෝ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරවා ගැනීමයි. එලෙස පරීක්ෂාවකට ලක් නොකර කිසිදු තීරණයක් නොගත යුතුයි. කිසියම් හෝ නිගමනයකට පැමිණිය හැකි වන්නේ එවැනි පරීක්ෂාවක් මනෝ වෛද්‍යවරයකු ලවා කරවා ගැනීමෙන් අනතුරුවයි. මෙවැනි පුද්ගලයන්ට ප්‍රතිකාර සිදු කරනු ලබන මනෝ වෛද්‍ය සායන බොහෝමයක් අද වන විට ලංකාවේ විවිධ ප්‍රදේශ වල ස්ථාපිත කර තිබීම සතුටට කරුණකි. සිදු කළ යුතු වන්නේ වහාම එවැනි සායනයක් හා සම්බන්ධ වෙමින් මාටත් පවතින මානසික ගැටලුවලට නිසි ප්‍රතිකාර නිසි අයුරින් ලබා ගැනීමයි. නැතහොත් දිගින් දිගටම මෙම තත්ත්වය වර්ධනය වීම තුළින් එම පුද්ගලයාට ජීවිතය වුවද අප්‍රිය වීමට හැකියාවක් පවතී. එමනිසාවෙන් කලයුතු නුවණැතිම ක්‍රියාව වන්නේ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.


පුද්ගලයන් වශයෙන් අපට ශාරීරික අසංකූලතා මෙන්ම මානසික අසංකූලතාවයන් ද ඇතිවීම ස්වභාවිකයි. වර්තමාන සමාජය තුළ පුද්ගලයන් විසින් ගෙවනු ලබන්නේ අධික කාර්යබහුල දිවිපැවැත්මක් වන අතර තමාගේ මනසට නිදහසක් ලබා දීමට තරම්වත් ඔවුන්ට කාලයක් නොමැත. දවසේ පැය විසිහතරෙන් අවම වශයෙන් පැය දෙකක්වත් තමාගේ මනසට සැහැල්ලුවෙන් ඉන්නට ඉඩ දෙන්න. මක්නිසාද දවස පුරාම ඔබත් සමග ඔට්ටු වෙන ඔබේ මනසටද කිසියම් හෝ සැහැල්ලුවක් සහනයක් නිරන්තරයෙන්ම අවශ්‍ය වන බැවිනි. ඔබේ මනස නිරෝගී වන තරමටම ඔබ ද නිරෝගී වනු ඇත. පුද්ගලයකුගේ නීරෝගි බව ඔහුට හෝ ඇයට ජීවිතයේ ලැබිය හැකි වටිනාම සම්පතකි. ඔබටත් මෙවැනි මානසික ගැටලු පවතී නම් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් නීරෝගි මනසක් සහිත පුද්ගලයෙක් වශයෙන් ජීවත් වන්නට අදිටන් කරගන්න. එය ඔබට මෙන්ම ඔබගේ ආදරණීයන්ටද සිදුකරනු ලබන මහඟු යුතුකමකි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

556 Views

Comments

arrow-up