පාසල් ව්‍යාපෘතියෙන් තම ජිවිතයම වෙනස් කරගත් ඇය

ඇත්තෙන්ම මෙලොව ගැහැනියකට කළ නොහැක්කක් නොමැත. ගැහැණිය වනාහි සුමුදු සුසිනිදු මලක් වැනි කෙනෙක් නොව ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි දැවැන්ත චරිතයකි. විටෙක දුවණියක්, සහෝදරියක්, මවක්, ලේලියක් වැනි විවිධ චරිත නිරූපණය කරන කාන්තාවන් තමා තුළ පවතින ධෛර්යය හේතුවෙන් ලොව ජය ගත් අවස්ථාවන් බොහෝමයක් ඔබ අසා ඇති. එවැනිම දිරිය කාන්තාවකි සාරංගි ජයවීර මහත්මිය.
ඇත්තෙන්ම ඇය ආදරණීය තරුණ මවකි. කුරුණෑගල තලම්මැහැර ප්‍රදේශයේ පදිංචි ඇය තම ජීවිතයට වටිනාකමක් එක්කර ගත් සාර්ථක ව්‍යවසායිකාවකි. ඇය පන්නල ජාතික පාසලෙන් උසස් අධ්‍යාපනය වාණිජ අංශයෙන් හැදෑරූ අතර උසස් පෙළ විභාගය උදෙසා බෑග් නිෂ්පාදනය පිළිබඳව ව්‍යාපෘතියක් සිදු කළාය. එමගින් ඇයට බෑග් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලැබුණේ පුළුල් දැනුමකි. පාසල් අධ්‍යාපනයට සමුදීමත් සමගම විවාහ වූ ඇය සැමියාගේ නිවසේ පදිංචියට පැමිණියාය. නිවස තුළ දහවල් කාලයේදී පාළුවෙන් සිටින ඇයට තමා පෙර කළ උගත් බෑග් නිෂ්පාදනය පිළිබඳව අදහසක් පහළ විය. සැමියාගෙන් ලබාගත් අවසරය මත ඇය විසින් බෑග් නිෂ්පාදනය කර අසල්වැසියන්ට අලෙවි කළ අතර පසුකාලීනව සැලකිය යුතු මට්ටමක පාරිභෝගික පිරිසක් අත්පත් කරගැනීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. ඇත්තෙන්ම මෙම ව්‍යාපාරය ඇයගේ පවුලේ ආර්ථිකයට ඉමහත් ශක්තියක් විය. පසුව මෙම බෑග් නිෂ්පාදනය කවුරුත් දන්නා ව්‍යාපාරයක් බවට පත්කරන්නට අදහස දුන්නේ ද ඇගේ සැමියා විසිනි. තලම්මැහැර ග්‍රාමයේ කාන්තා සමිතියට බැඳුණු ඇය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දිරිය කාන්තා සමිතියක් ගමේ පිහිටුවා ගන්නට සමත් විය. එහි සභාපති ධූරය දැරුවේ ද සාරංගි මහත්මියයි. එම සමිතිය මගින් ඇයට විවිධ අවස්ථා ජනිත වූ අතර එහිදී මැහුම් පාඨමාලා කිහිපයක්ද පැවැත්විණි. එහිදී ඇය විසින් විවිධ විලාසිතා සහ මෝස්තර එකතු කරමින් නිර්මාණය කරන ලද මුල්ම බෑගය රුපියල් 150 ක මුදලකට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරිනියකට අලෙවි කළාය. ඒ හරහා ඇයට විශාල ප්‍රතිචාර සහ ඇණවුම් සංඛ්‍යාවක්ද ලැබුණි. එම ප්‍රතිචාර සමගින්ම දිරිමත් වූ ඇය ඇයගේ දරුවාගේ පෙර පාසලේ සියලුම දෙනා අතර ලස්සනට බෑග් මහන අම්මා නමින්ද ප්‍රසිද්ධ විය. එමගින් ඇයට මුළු පෙරපාසල සඳහාම බෑග් මැසීමට ද ඇණවුමක් ලැබුණි. මෙහිදී ඇයට විශාල අත්වැලක් සපයන්නට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ පන්නල ශාඛාවේ නිලධාරීන් සමත් විය. අරමුණක් හෝ ඉලක්කයක් නොමැතිව සුළුවෙන් රැගෙන ආ ව්‍යාපාරයට වටිනාකමක් එක් කරන්නට එම නිලධාරීන් දැක්වූයේ නොමද සහයක්. එම කාර්යාලය විසින් ඇයට විධිමත්ව ව්‍යාපාරය කරගෙන යන්නට අවශ්‍ය සියලුම ශක්තිය සහ මහන මැෂින් පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් මාලාවක් ද ලබා දුනි.
මේ සියලු අවස්ථා උදා කර ගනිමින් ඇය අදවන විට ගාර්මන්ට් සහ පෙර පාසල් සඳහා බෑග් මසමින් තම ව්‍යාපාරය විශාල ලෙස දියුණු කරගෙන තිබේ. තවද තමා විසින්ම උපයාගත් මුදලින් ව්‍යාපාරයට අවශ්‍ය කරන මහන මැෂින් මෙන්ම බෑග් ප්‍රවාහනය කිරීමට මෝටර් බයිසිකලයක් ද මිලදී ගෙන තිබේ. ඇය විසින් සමාජයට දෙන පණිවුඩය නම් ගැහැනියකට යා හැකි දුර බොහෝ බවත් ජීවිතය ජයගැනීමට හැකිතාක් වැඩ කරන ලෙසත්ය. සාරංගි මහත්මිය මුළුමහත් කාන්තා පරපුරටම අභිමානයක් මෙන්ම ආදර්ශයකි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
725 Views
Comments