නැගිටින බංගලාදේශය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

නැගිටින බංගලාදේශය

නැගිටින බංගලාදේශය

ශ්‍රී ලංකාව සියයට 4.5ක සංවර්ධන වේගයක් ද දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාව සියයට 7ක සංවර්ධන වේගයක් ද පෙන්වද්දී කලක් මේ සෑම රටකටම පිටුපසින් සිටි දරිද්‍රතාවයෙන් පිරී ගිය බංග්ලාදේශය ඒ සියලු දුක් කම්කටොලු පරදවමින්, දකුණු ආසියාවේ සෑම රටක්ම පරදවමින් සියයට 9ක් වූ විස්මිත සංවර්ධන වේගයක් අත්කර ගැනීමට සමත්ව සිටියි.

වර්ග කිලෝමීටර් 147,570කින් යුත් බංග්ලාදේශය ලොව 7 වැනි ජනාකීර්ණ රට වේ. එසේම අධික ජනගහනයක් මෙන්ම අධික දිළිඳු ජන අනුපාතයක් පවතින රට ද වේ. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව මීටර් 10ක ප්‍රමාණයක වැඩිම ජනගහනයක් පදිංචි ලොව මුල්ම රටවල් පහ අතරේ පළමු වැනි ස්ථානය හිමි වී තිබෙන්නේ බංග්ලාදේශයටය. දෙවැනි ස්ථානය තායිවානයට ද, තෙවැනි ස්ථානය දකුණු කොරියාවට ද සිවුවැනි හා පස් වැනි ස්ථාන රුවන්ඩාවට හා හයිටි රාජ්‍යයට ද හිමි වී තිබේ.
සංඛ්‍යාලේඛනවලට අනුව එරට ජනගහනය මිලියන 165 ද ඉක්මවා ගොස් තිබේ. බංගලාදේශයේ අගනගරය වන ඩකාහී පමණක් වෙසෙන ජනගහනය මිලියන 18 කි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22ක් පමණ වන අතර මෙම දත්ත සංසන්දනය කර බැලීමෙන් ඩකා අගනගරයේ තත්ත්වය කෙසේදැයි අපූරුවට වටහාගත හැකිය.
බංගලාදේශය මේ වනවිට ඒක පුද්ගල ආදායම අතින් ද මානව සංවර්ධනය, පාසල් අධ්‍යාපනය, සාහිත්‍යය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් ද ජනගහනය වර්ධනයෙන් ද දියුණුවක් ලබා සිටින රටකි. අධිජනගහනය රටක සංවර්ධනයට බාධාවක් බව කලකට පෙර සඳහන් වුව ද අධිජනගහනයම රටේ සංවර්ධනයට යොදාගත් රටකට හොඳම උදාහරණය බංග්ලාදේශය වේ.

 

 

 


විවිධ කර්මාන්තශාලා, ව්‍යාපාර, විදෙස්ගත ශ්‍රමිකයන් බංගලාදේශයට අද වනවිට විශාල ලෙස ආදායම් උපදවා දෙන අංශ වේ. මේ වනවිට බංග්ලාදේශයේ ඩකා අගනුවර ආශ්‍රිතව සුවිශාල තට්ටු ගොඩනැගිලි, සුපිරි වෙළෙඳසල්, අධිවේගී මාර්ග පද්ධති ඉදිවෙමින් තිබෙන ආකාරය අපට දැකගත හැකි විය. අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා එරට රජය විසින් වෙනම අමාත්‍යාංශයක් ද පත්කර තිබීම විශේෂ කරුණකි. වර්තමානයේ එරට පවතින අධික මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම අධිවේගී මාර්ග පද්ධති ඉදිවෙමින් පවතී.
පාලනය කිරීමට නොහැකි මේ සුවිශාල ජනගහනය හේතුවෙන් ඩකා අගනගරයේ සියලුම මාර්ගවල පෙරවරුවේ සිට රාත්‍රිය වනතුරුම පවතින්නේ අධික රථවාහන තදබදයකි. මේ අධික රථවාහන තදබදය නිසාම ඩකා අග නගරයේ රථවාහන නීතිය ක්‍රියාත්මක නොවේ. මාර්ග වර්ණ සංඥා, රථවාහන පොලිස් නිලධාරීන් නොතකා ගමන් කරන වාහන ඩකා නගරයේ සුලබ දසුනකි. මේ නීතිය නොතැකීම නිසාම නිරන්තරයෙන් වාහන එකිනෙක ගැටීම සිදුවේ. කෙසේ හෝ මේ බධාවන් ජයගෙන නැගිටීමට බංගලාදේශයට හැකියාව ලැබී තිබේ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

826 Views

Comments

arrow-up