ඉපැරණි ලෝක පුදුම හත - 4
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

ඉපැරණි ලෝක පුදුම හත - 4

ඉපැරණි ලෝක පුදුම හත - 4

3. ඉරාකයේ බැබිලෝන්හි එල්ලෙන උද්‍යානය

ඉපැරණි ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන බැබිලෝන්හි එල්ලෙන උද්‍යානය පුරාණ බැබිලෝන්හි රාජකීය මාළිගාව අසල හෙවත් වර්තමාන ඉරාකයේ බැබිල් ​​ප්‍රාන්තයේ ඉදිකර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ගඩොල්වලින් තට්ටු වශයෙන් ඉදි කරන ලද විශාල හරිත කන්දකට සමාන ව්‍යුහයක් වූ අතර එහි එක් එක් තට්ටු මත විවිධාකාර ගස් වැල් හා පඳුරු රෝපණය කර උද්‍යානයක් ලෙස නිමවා තිබෙන්නට ඇතැයි සැලකේ. එසේ සැලකු  විට එය ඇත්ත වශයෙන්ම 'එල්ලෙන' උද්‍යානයක් නොවන බවත් පොළොව මට්ටමෙන් ඉහළ ඉදි  කරන ලද  එනම් ගොඩනැගිලි වහල මත ඉදි කරන ලද  උද්‍යාන සංකීර්ණයක් බව වටහා ගත හැකිය.

 

ඉපැරණි ලෝක පුදුම හතෙන් තවමත් පිහිටි ස්ථානය නිශ්චිතවම තහවුරු කර නොමැති වූ පුදුමයක් ලෙස එල්ලෙන උද්‍යානය සැලකේ. එය නිශ්චය කර ගැනීම සඳහා කිසිදු නිශ්චිත ලේඛනයක් හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක්  හමු වී නොමැත.  එබැවින් සමහරෙක් විශ්වාස කරන්නේ මෙය පුරාණ ග්‍රීක හා රෝම ලියවිලිවල මනඃකල්පිතව විස්තර කරන ලද මිථ්‍යාවක් පමණක් බවයි. තවත් අයෙක් ඒවා බැබිලොන්හි පැවතුන නමුත් ක්‍රි.ව. පළමුවන සියවස ආශ්‍රිත කාලයේ සම්පූර්ණයෙන්ම විනාශ වන්නට ඇති බව විශ්වාස කරයි. තවත් අයෙක් සඳහන් කරන්නේ මෙම එල්ලෙන උද්‍යානය  ක්‍රි.පූ. 704–681 අතර රජ කල ඇසිරියානු රජ Sennacherib විසින්  පුරාණ ටයිග්‍රිස් ගංගා නිම්නයේ අගනුවර හෙවත් වර්තමාන මොසුල් නගරයට ආසන්නයේ ඉදි කරන්නට ඇති බවයි. 

 

 

මෙය ඉදි කරන ලද්දේ කව්රුන් විසින් කිනම් කාලයකද යන්න නිශ්චිතවම සොයාගෙන නැතත් ක්‍රි.පූ. 605 සිට වසර 43 ක් නගරය පාලනය කළ Nebuchadnezzar රජු විසින් විදේශ සම්බන්ධතාවක් ශක්තිමත් කිරීම් සඳහා විවාහ කර ගත් ඇමයිටිස් රැජින සතුටු කිරීමට මෙම උද්‍යානය ඉදි කර ඇති බව බොහෝ පැරණි පොත්පත්වලින් පෙනී යයි.  ඇමයිටිස් රැජින පැමිණි භූමිය මෙසපොතේමියාවේ ශුෂ්ක පරිසරයට හාත්පසින්ම වෙනස්  ගස් වැලින් පිරුණු කඳු සහිත හරිත දේශයක් විය. එබැවින් රජු උද්‍යාන සහිත කෘත්‍රිම කන්දක් තැනීම තුළින් ඇගේ මව්බිම ප්‍රතිනිර්මාණය කිරීමට ගත් තීරණයේ ප්‍රතිපලයක් ලෙස බැබිලොන්හි එල්ලෙන උද්‍යානය නිමවා ඇති බව සැලකේ.  ඊට අමතරව ක්‍රි.පූ. 810 සිටි ඇසිරියානු රැජින සෙමිරාමිස්ගේ පස් අවුරුදු පාලන සමයේදී මෙම උද්‍යාන ඉදිකර ඇති බවටද තවත් මතයක් තිබේ.

 

කෙසේ වෙතත් බැබිලෝනියට කලාතුරකින් වර්ෂාව ලැබුණු අතර උද්‍යානය නොනැසී පැවතීම සඳහා අසල පිහිටි යුප්‍රටීස් ගඟෙන් ජලය සපයන්නට ඇතැයි සැලකේ. ඒ සඳහා ජලය ඉහළට ඔසවා උද්‍යානය හරහා ගලා බසින්නට සලස්වන්නට ඇති අතර ඔවුන් ඊට යොදා ගන්නට ඇති තාක්ෂණය පිළිබඳව සැලකීමේදී නිසැකවම මෙය ලොව මවිත කළ ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ට කාර්යයක් ලෙස ඉපැරණි ලෝක පුදුම හතට එක් වන්නට ඇත.

 

 

by Sajini Ishanthi

Photo Source: Internet

views

646 Views

Comments

arrow-up