වැවක කොටස් ගැන දැනුවත් වෙමු 1
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

වැවක කොටස් ගැන දැනුවත් වෙමු 1

වැවක කොටස් ගැන දැනුවත් වෙමු 1

ගලා යන ඔයක්, ගඟක් හෝ දියපාරක් හරස්කර වැවක් නිර්මාණය කරගැනීමට අපෙ ඉපැරණි මුතුන්මිත්තන් සහජ දක්ෂයන් බව අපි දනිමු. ජලය පදනම් කරගෙන ආරම්භ වී වර්ධනය වූ නිසා ශ්‍රී ලාංකිකයන් ජලාශිත ශිෂ්ටාචාරයක උරුමකරුවන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම ශිෂ්ටාචාරය ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්යයන්ගෙන්. ඔවුන් ගංගා ආශ්‍රිතව සිය ජනාවාස පිහිටුවා ගනිමින් ඒවායේ ජලය ගොවිතැන් කටයුතු සඳහා යොදා ගනිමින් ජීවත් වී ඇත. කල්ගත වීමේදී ගොවිතැන් කටයුතු සඳහා ජලය එක්රැස් කර තබා ගැනීම අවශ්‍ය වූ බැවින් වාරිමාර්ග ඉදි කිරීමට ඔවුන් පෙළඹී තිබේ. එමනිසාවෙන් වැවක කොටස් පිළිබඳව අවබෝධයක් ලබා තිබීම වැදගත් බැවින් ඒ පිළිබඳව පාඨක ඔබට ඉදිරිපත් කිරීමටයි මේ සූදානම.

වැව් බැම්ම

වැවක් ඉදිකිරීමේදී වැව් බැම්මේ නිර්මාණය ඉතා වැදගත්. ගලායන ජල පාරක් හරස් කර බැම්මක් බැඳීමේදී එකිනෙකට ළංව පිහිටි කඳු ගැට දෙකක් සම්බන්ධ කර ගත් බව දක්නට ඇත. ජලය රැස්වෙන උස් බිමේ පාෂාණ සංයුතිය පිළිබඳව ද සොයා බලා ඇත. පාෂාණ ස්ථරවල ආනතිය වැව ඇතුලට නැමී පවතින අවස්ථාවක් තෝරා ගැනීම වැව් බැම්ම නිර්මාණයේදී සැළකිලිමත් වූ තවත් අවස්ථාවක්. එමගින් ජලය කාන්දු වීම වැළකේ. සමෝච්ච රේඛා විහිදීම මත වැව් බැමි නිර්මාණය කර ඇත.

සළපනාව

වැව් බැම්මේ ආරක්ෂාව සඳහා වැව් බැම්මේ ඇතුල් පැත්තෙ පාදමේ සිට ඉහළ ජල මට්ටම දක්වා කළු ගල් පුවරු අතුරා ඇත. මෙය සලපනාව, රළ පැන්නුම, රළපනාව ලෙස හඳුන්වයි. මේ නිසා වැව් බැම්ම රළ පහරින් සේදී යාම වලකී.

 

 

 


සොරොව්ව

වැවේ රැඳවූ ජලය කෙත් බිම් කරා ගෙන යාම පිණිස ඇළට ජලය මුදා හැරීම සඳහා සකස් කළ නිර්මාණයකි. පැරණි වැව්වල ඉතාමත් සියුම්ව ජලය කාන්දු නොවන ආකාරයෙන් කළුගලෙන් සොරොව් නිම කර ඇත. ඇල හැරීම වැළැක්වීම සඳහා සොරොව්වේ වැව පැත්තේ සිදුර කුඩාවටත් ඇල හා සම්බන්ධ වන පිටත විවරය විශාලවටත් සකස් කර ඇත. ගොඩ සොරොව්ව සහ මඩ සොරොව්ව යනුවෙන් සොරොව් වර්ග දෙකකි. වැවේ ජල මට්ටම ඉහළ තිබෙන විට ජලය සැපයිය හැකි අයුරින් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව ලෙස හඳුන්වයි. වැව් බැම්මේ පහළ මට්ටමින් මඩ සොරොව්ව පිහිටුවා ඇත. මඩ ඉවත් කිරීම සහ ජල මට්ටම පහළ ගිය අවස්ථාවලදී ජලය බෙදා හැරීම සඳහා මඩ සොරොව්ව යොදාගනී.

බිසෝ කොටුව

විශාල වැවක වැව් බැම්ම හරහා සොරොව්වකින් ජලය පිටත යැවීමේදී වැව් බැම්මට වන හානිය වැළැක්වීම සඳහා බිසෝකොටුව නිර්මාණය කර ඇත. හතරැස් ළිදක හැඩයට තනා ඇති බිසෝකොටුව මෙරට වාරිකර්මාන්තයේ විශිෂ්ඨතම නිර්මාණයකි. අවශ්‍ය වේලාවට සහ අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කිරීම සඳහා යොදා ගන්නා විශේෂ ජල පාලන උපකරණයක් බිසෝකොටුවේ ඇත. මෙය මොහොල නමින් හඳුන්වයි. කළුගල් ඉතා සියුම් මටසිලුටු ආකාරයෙන් සකස් කර ජලය කාන්දු නොවන ලෙස මෙම නිර්මාණය ඉදිකර ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

9047 Views

Comments

arrow-up