ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් සිදු කළ ඇය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
23

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් සිදු කළ ඇය

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් සිදු කළ ඇය

මෙලොව උපදින සෑම පුද්ගලයෙක්ම සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළින් ලබාගෙන ඇත්තේ කියා නිම කළ නොහැකි සේවයකි. උපතේ සිට මරණය දක්වාම නොයෙක් අවස්ථාවන්වලදී සෞඛ්‍ය සේවයේ පිහිට පැතීමට පුද්ගලයන්ට සිදුවේ. එවැනි පුද්ගලයන්ට අවශ්‍ය සේවාව නිරන්තරයෙන්ම සපයන්නට වෙර දැරූ ඇය නමින් සිරිසීලි මැණිකේ පහලවත්ත ආරච්චි මහත්මියයි.

 

ගණකාධිකාරීවරියක් වන්නට ඉගෙන ගනිමින් සිටි ඇය ඇගේ දෛවය එක්වරම වෙනස් මාවතකට ප්‍රවේශ කරගන්නට සමත් වූවාය. තම විෂය ක්ෂේත්‍රයට කිසිසේත්ම සමාන නොවන, මිනිසුන් වෙනුවෙන් සේවය කළ හැකි මාර්ගයක් තෝරා ගන්නට ඇයට අවශ්‍ය විය. හෙද වෘතියට ඇය පිවිසෙන්නේ මෙලෙසයි. අද වන විට ඇය ඔස්ට්‍රේලියාවේ සායනික හෙද විශේෂඥවරියක් ලෙසත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙසත් සේවය කරමින් සිටී. ගණකාධිකාරී වරියක් වන ඇයගේ සිහිනය වෙනස් වූයේ ඇය මුහුණ පෑ කිසියම් සංසිද්ධියක් හේතුවෙනි. එනම් ඇයගේ මිතුරියකගේ පියා රෝහල් ගත වීමෙන් පසුව ඇය කිහිප වරක්ම එම පියා බැලීමට රෝහලට යන්නට විය. එවිට එහි සිටින රෝගීන් ඇඳන් වල වැතිරී සිටින අයුරු දැකීමෙන් ඇයගේ සිත තුළ කියාගත නොහැකි දයාවක් ඔවුන් වෙනුවෙන් ඇතිවිය. ගණකාධිකාරීවරියක් වී ලිපිගොනු අතර සිරවී ගත කරන ජීවිතයට වඩා රෝගීන්ට උපකාර කළ හැකි හෙදියක් වන්නට ඇත්නම් යැයි සිතුවිල්ල ඇය තුළ පහළ වන්නේ මෙම සිදුවීමත් සමඟයි. හෙද වෘත්තිය කෙරෙහි තිබුණු දැඩි ඇල්ම නිසාම හෙද විබාගය පහසුවෙන් සමත් වන්නට ඇයට හැකි විය. ඉන්පසුව ඇය සිය ප්‍රථම පත්වීම ලබන්නේ කොළඹ මහ රෝහලේ විකලාංග ශල්‍යාගාර ඒකකයටයි. එහි වසරක පුහුණුවක් ලබා ගන්නා ඇය වාට්ටු භාර හෙද නිලධාරීන් තේරීමේ විභාගයෙන් ද සමත් වී පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වසර එකහමාරක පුහුණුවකින් පසුව කළුබෝවිල රෝහලේ හෙද සොහොයුරියක ලෙස පත්වීම ලබා ගත්තාය. නැවත වතාවක් කොළඹ මහ රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය මහතාගේ විශේෂ ඉල්ලීමක් මත ඇය කොළඹ මහ රෝහලේ සේවයට පැමිණ තිබේ. එහිදී රෝහලේ හෙදියන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් ද ඇය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලදී. ඇයගේ වටිනාම සේවය කොළඹ මහ රෝහල වෙනුවෙන් ලබා දෙන්නේ 1985 වසරේදීය. එනම් කොළඹ මහ රෝහලට හදිසි අනතුරු ඒකකයක අවශ්‍යතාවය ෆින්ලන්ත විශේෂඥවරුන් කණ්ඩායමකට පැහැදිලි කිරීමෙන් ඇය මෙරටට අත්කරදුන් ජයග්‍රහණයයි. එසේ නොවන්නට අදටත් කොළඹ මහ රෝහලට මෙතරම් පහසුකම් සපිරි හදිසි අනතුරු ඒකකයක් නොලැබෙන්නට ඉඩ තිබුණි. ඒ වන විට කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙනුවෙන් වෙන්කර තිබුණේ ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක්. එමෙන්ම පහසුකම් ද ඉතාමත් අඩුයි. රෝගීන්ගේ පවිත්‍රතාවය පිළිබඳවද යම් යම් ගැටළු ඇතිවී තිබුණි. ඇය විසින් නිවැරදි දැක්මක් සහිතව එම අවශ්‍යතාවය ෆින්ලන්ත විශේෂඥවරුන්ට දැක්වීමෙන් අනතුරුව මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා ගන්නට ඇයට හැකි විය. එම නිසාවෙන් 1991 වර්ෂය වන විට අංගසම්පූර්ණ හදිසි අනතුරු ඒකකයක් කොළඹ ජාතික රෝහලට ලබාගැනීමට හැකියාවක් ලැබුණි.

 

 

එම හදිසි අනතුරු ඒකකය පහසු ඇඳන්, පිරිසිදු ඇඳ ඇතිරිලි, වැසිකිළි පහසුකම්, තුවාල ලෙඩුන් සෙදීමට අවශ්‍ය පහසුකම් මෙන්ම වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අවශ්‍ය සියලු පහසුකම් වලින් පිරිපුන් එකක් විය. ඒ අතරවාරයේ දී ඇයට ෆින්ලන්තයේ ආචාර්ය උපාධියක් හදාරන්නටද වාසනාව උදා විය. තවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රථම වරට හෙද උපාධිය ආරම්භ වන්නේද මෙම කාලයේදී වන අතර ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් කරන්නට ද ඇය සමත් විය. මෙලෙස හෙද සේවයට බැඳුණු දිනයේ පටන් රෝගීන් වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරන්නට කටයුතු කළ ඇයට එනම් කථිකාචාර්ය සිරිසීලි මැණිකේ මහත්මියට අප විසින් අපගේ හෘදයාංගම ස්තුතිය සහ උපහාරය පුද කර සිටිමු.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

677 Views

Comments

arrow-up