ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව ඔබ නොදත් කරුණු
වෙළඳපල මගින් සැපයිය හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෝ බෙදාහැරීම පිළිබඳව කටයුතු කරන රජයේ ආයතන සහ සංස්ථා රාජ්‍ය ව්‍යවසාය ලෙස අදහස් කරයි. මෙහිදී රජය නිෂ්පාදනයට සහ වෙළඳ කටයුතුවලට සෘජුවම සම්බන්ධ වීමක් සිදුවේ. දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ලංකා බැංකුව, රාජ්‍ය දැව සංස්ථාව යනාදිය රාජ්‍ය ව්‍යවසායන්ට නිදසුන් කීපයක් ලෙස හඳුනාගත හැකියි.
රටක රාජ්‍ය ව්‍යවසායන් බිහිවීමට බලපාන හේතු ගණනාවක් ඇති බව ඔබ දන්නවාද. පෞද්ගලික අංශය නියුතු වීමට අකමැති ව්‍යාපෘතීන් රජය මැදිහත් වීමෙන් ඇරඹිය යුතු වීම, පෞද්ගලික අංශයේ සම්බන්ධ වීම ප්‍රමාණවත් නොවන විට එම හිඟය පියවීම සඳහා රජයට මැදිහත් විය යුතු වීම, පෞද්ගලික අංශයට විශාල ප්‍රාග්ධනයක් සම්පාදනය කරගැනීමට අපහසු අවස්ථාවලදී, පෞද්ගලික අංශයේ ඒකාධිකාරී ව්‍යාපාර කටයුතු මහජන සුබසිද්ධියට අහිතකර වන විටදී, පෞද්ගලික අංශයේ ව්‍යාපාර කටයුතු අසාර්ථක වන විටදී, සේවා නියුක්ති ඉඩප්‍රස්ථා ඇති කිරීම සඳහා යනාදී කරුණු ඉන් කිහිපයකි.
එක්දහස් නවසිය හැත්තෑ හතෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ඇති කරන ලද වෙනස්කම් සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ ආර්ථික ව්‍යුහය තුළ වෙනස්කම් සිදුවිය. මේ යටතේ රාජ්‍ය ව්‍යවසායන් පටු සහ පුළුල් ලෙස පෞද්ගලික ව්‍යවසායට පැවරීමේ කටයුතු ක්‍රියාත්මක විය. මීට අමතරව අකාර්යක්ෂම සහ අසාර්ථක රාජ්‍ය ව්‍යවසායන් ප්රතිව්යුහගත කිරීම ද ඇරඹුණි. විශේෂයෙන්ම 1990 දශකයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් බොහෝමයක් පෞද්ගලීකරණයට ලක්විය. මෙම පෞද්ගලීකරණ කටයුතු සඳහා 1996 වර්ෂයේදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම නමැති ආයතනය පිහිටුවනු ලැබීය. නමුත් වර්තමානයේ දී මෙම ආයතනය ක්‍රියාත්මක නොවේ.
රජයට අයත් ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා ඇති එකම උපාය මාර්ගය ලෙස වර්තමාන රජය නොපිළිගන්නා අතර එම ආයතනවල කළමනාකාරිත්වයෙහි ප්‍රතිසංස්කරණ හරහා කාර්ය සාධනය වැඩි කිරීමට විකල්ප උපාය මාර්ගයක් ලෙස හඳුනාගෙන ඇත. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමට හේතු ගණනාවක් හඳුනා ගැනීමට පුළුවනි. කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, නව තාක්ෂණය එක් කිරීම, කළමනාකරණය දියුණු කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය, නව වෙළඳ පොළවල් සොයාගැනීම, රජයට දැරීමට සිදුවන බර අඩු කිරීම යනාදිය එම හේතු කිහිපයකි. රට සංවර්ධනය කිරීමේ උත්ප්‍රේරක ලෙස රාජ්‍ය ව්‍යවසායන් යොදා ගැනීම රජයේ අපේක්ෂාව වන අතර ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යනාදිය උපායමාර්ගික අරමුණු ළඟාකර ගැනීමේදී සුවිශේෂී භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
3725 Views
Comments