ෆීනික්ස් මිත්‍යාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

ෆීනික්ස් මිත්‍යාව

ෆීනික්ස් මිත්‍යාව

පුරාණ පුරාවෘත්තවල අනුව සූර්යයා සමඟ බොහෝ සමීප සම්බන්ධයක් ඇති තේජාන්විත පක්ෂියෙක් ලෙස ෆීනික්ස් පක්ෂියා සැලකේ. වසර සිය ගණනක් ජීවත් වීමේ හැකියාවක් ඇති ඉන්ද්‍රජාලික කුරුල්ලෙකුගේ පින්තූරයක් ලෙස ෆීනික්ස් පක්ෂියාගේ කල්පිත රුව පුරාණ පොත් පත්වල පින්තාරු වී ඇත. එම පක්ෂියාගේ සුවිශේෂී ලක්ෂණය ලෙස ඉස්මතු කර ඇත්තේ මොහුගේ මරණය සහ නැවත ඉපදීම සිදු වන ආකාරයි.

 

පුරාවෘත්ත වලට අනුව ෆීනික්ස් යනු රාජාලියෙකු හෝ මොනරෙකු වැනි විශාල පක්ෂියෙකි. මොහු රතු, දම් සහ කහ වැනි දීප්තිමත් වර්ණවලින් යුක්ත වන අතර ඇස් නිල් මැණික් මෙන් නිල් පැහැයෙන් බබළයි. ඔවුන්ට තමාගේ ජිවිතයේ අවසානය ළඟා වී ඇති බව දැනෙන විට ඔවුන් විසින්ම තමන්ගේ කුඩුව එසේත් නැති නම් තමන්ගේම මරණයේ චිතකය ගොඩනඟා, එක් සැණෙකින් පියාපත් සලා එය දල්වා එහි දැවේ. එසේ ගිනි ගෙන මිය ගිය පසු ඔවුන් නැවතත් අළුත් දිගු ජීවිතයක් ආරම්භ කිරීම සඳහා එම අළු වලින්ම ප්‍රතිනිර්මාණය වී වඩාත් තරුණ ලෙස වඩාත් බලවත් ලෙස සහ ඉතා තේජාන්විතව අහසට නැගී පියාසර කරයි.

 

මෙම මිත්‍යාව නව පණක් ලැබීම සහ නැවත නැඟිටීම සංකේතවත් කරන අතර සූර්යයා, කාලය, අධිරාජ්‍යය, කැප කිරීම සහ නැවත නැඟිටීම යනාදී බොහෝ හැඟීම් දැනවීමට සමත් වේ. එසේ මරණය හා නැවත නැඟිටීම යන තේමාවන් විදහා දක්වන නිසා, එය ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා ඔහුගේ උත්ථානය පිළිබඳ සංකේතවත් කිරීමක් ලෙස අතීතයේ ක්‍රිස්තියානි සොහොන් ගෙවල්වල මෙම රූපය සලකුණු කර තිබු බවට සැලකේ.

 

 

 

 

මෙම මිත්‍යා කතාව කෙතරම් ප්‍රබලද යත් එය බොහෝ ජනප්‍රිය ජනකතාවලට පාදක වී ඇත්තා සේම බොහෝ සැරසිලිවල වල අදටත් බහුලව භාවිතා වන මෝස්තරයක් වේ. ග්‍රීක ජාතිකයන් මෙම පක්ෂියා ෆීනික්ස් ලෙස නම් කළ නමුත් මොහු  ස්වදේශික ඇමරිකානුවන් විසින් Thunderbird, චීන ජාතිකයන් විසින් Fèng Huáng ලෙස මෙන්ම රුසියානුවන් විසින්  Firebird ලෙසද හඳුන්වයි.

 

මෙම පුරාණ ජනප්‍රිය මිථ්‍යාවට මෑත කාලයේදී නවීන එකතු කිරීම් ද සිදු වී ඇත. ඉන් එකක් වන්නේ ෆීනික්ස් පක්ෂියාගේ කඳුළු වලට විශිෂ්ට සුව කිරීමේ ශක්තියක් ඇති බවය. එමෙන්ම ෆීනික්ස් පක්ෂියෙකු ආසන්නයේ සිට කිසිවෙකුට බොරුවක් පැවසිය නොහැකි බවත් පැවසේ.

 

ෆීනික්ස් නිරූපණය කරන්නේ යමක අවසානය එහි ආරම්භයම පමණක් වන බවයි. මෙම ප්‍රබල මිථ්‍යාව හා සමානව, ෆීනික්ස් මිත්‍යාව මිනිස් පුරාවෘත්තයේ හා පරිකල්පනයේ නැවත නැවත ඉපදෙමින් සදාකල් පැවතෙනු ඇත.

 

 

by Sajini Ishanthi

Photo Source: Internet

 

views

657 Views

Comments

arrow-up