විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සමාජයේ නිසි තැන ලැබෙනවාද

පුංචි දරුවන් මල් වැනිය. වැඩිහිටියන් මෙන් නොව කුඩා දරුවන්ගේ සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි තත්ත්වයන් නොමැති නිසාවෙන් සැබැවින්ම ඔවුන් අවිහිංසකයි. නමුත් ඇතැම් දරුවන් උපතේදී හෝ පසු කාලීනව ඇතිවන කිසියම් හෝ සංකූලතා නිසා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් බවට පත්වීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.
ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව සෑම රටකම මෙවැනි දරුවන් දැක ගත හැකියි. නමුත් කනගාටුවෙන් වුවද කිවයුතු වන්නේ වර්තමාන සමාජය තුල මෙවැනි දරුවන්ට සලකන ආකාරය වඩාත් ඛේදජනක බවයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවකු පාසලකට ඇතුළත් කිරීමේ දී ඇතැම් පාසල්වලින් එවැනි දරුවන් ප්‍රතික්ෂේප කිරීම පවා දැකිය හැකියි. මෙහි බරපතලම දෙය වන්නේ සමහර ගුරුමහත්ම මහත්මීන් හා විදුහල්පතිවරුන් පමණක් නොවෙයි අනෙකුත් දරුවන්ගේ දෙමාපියන්ද දක්වන බරපතළ විරෝධයයි. තමන්ගේ දරුවා පමණක් සිටිය යුතුයැයි සිතන දුර්වල මානසිකත්වයකින් යුතු ජනසමාජයක් තුළයි අප ජීවත්වන්නේ. දරුවෙකුට පාසැලක් ලබා දීම රජයක වගකීමක් වන අතර එය මූලික මිනිස් අවශ්‍යතාවක් ද වේ. එමෙන්ම පාසැල් යන වයසේ දරුවන් පාසල් නොයැවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා අවශ්‍ය වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සාමාන්‍ය පන්ති කාමරය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව උදා කර දීමයි. මේ සඳහා සාමාන්‍ය දරුවන් සිටින මවුපියන් ද එකතු විය යුතුයි. මෙහිදී අපගේ දරුවන්ට හොඳ නරක කියා දීම වැදගත් දෙයක් යයි අමුතුවෙන් කිවයුතු නැහැ. එහි මුල් පොත තැබීම පන්ති කාමරය තුලදී සිදු කිරීමට ඇති හොඳම ක්‍රමයක් වන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පන්තිය තුලදී උදව් කිරීමට අනිත් දරුවන් උනන්දු කරවීම හරහා ය. සැබැවින්ම මෙහි ගැටලුව ඇත්තේ දරුවන්ගේ නොවේ. පන්තියේ සිටින සාමාන්‍ය දරුවන් විශේෂ අවශ්‍යතා ඇති දරුවකුට උදව් කිරීම සඳහා සැමවිටම ඉදිරිපත් වන නමුත් ප්‍රශ්නය ඇති වන්නේ මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නොදන්නා ගුරුමහත්ම මහත්මීන් සහ මෙවැනි දෑ නුරුස්සන දෙමවුපියන් ඇතැම්විට පාසල්වල සිටීමයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අපේ පාසලට ඕනෑකර තිබේ යනුවෙන් පාසල්වලින්ම ප්‍රකාශ කරන දිනයක් මතුයම් දවසක නිර්මාණය කිරීමට ඔබ අප සැම දෙනාම එක් විය යුතුයි. විශේෂ අවශ්‍යතා තිබුණද එම දරුවනුත් සාමාන්‍ය දරුවන් මෙන් සිත් පිත් ඇති අහිංසක මල් පොහොට්ටු ය.
එවැනි දරුවන් ද ක්‍රමයෙන් වැඩීමෙන් අනතුරුව යම් දවසක අප සියලු දෙනාම සිටින සමාජයටම පැමිණෙනු ඇත. අද දිනයේ දී ඔවුනට වෙනස්කම් අඩත්තේට්ටම් කරමින් සමාජයෙන් කොන් කරනු ලැබුවහොත් ඔවුන් නිරවුල් මනසකින් යුතුව සමාජයට පැමිණෙන්නේ කෙසේද යන්න වග පිළිබඳව අප නිරන්තරයෙන්ම සිතා බැලිය යුතුයි. ඔවුනට කුඩාකල ලැබුණු අත්දැකීම් තුළින්ම යම් දවසක සමාජයට ප්‍රතිචාර දක්වනු ඇත. එම නිසා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද සාමාන්‍ය දරුවන් මෙන් නිරවුල් මනසකින් යුතුව හැදී වැඩෙන්නට සහ නිසි අධ්‍යාපනයක් ලබා ගන්නට ඔවුනට අවස්ථාව සලසා දීම ජාතික වගකීමක් වශයෙන් සැලකිය යුතුම වන්නේය.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1162 Views
Comments