දිවියේ අභිමානවත් ගමන වෙනුවෙන් දෙස් විදෙස් බුහුමන් ලැබූ ඔහු

සම්මානනීය මහාචාර්ය දේශමාන්‍ය J.B. දිසානායක නමින් මුළු රටක් හඳුනන ඔහු සිය දිවියේ අභිමානවත් ගමන් මඟ වෙනුවෙන් දෙස් විදෙස් බුහුමන් ලැබූ දයාබර චරිතයකි. රාජපක්ෂ රාජකරුණා මහවාසල දුක්ගන්නා රාළ මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක නම් වූ දිගු නාමයෙන් අප කිසිවෙකුත් මෙතුමන්ව හඳුනන්නේ නැත. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මූලික අධ්‍යාපනය සඳහා ඇතුලත්ව වසර තුනකින් පසු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන මෙතුමන් ආනන්ද විද්‍යාලයේදී ෆිටිස්කූන්ස් අභියෝගතා කුසලානය ද දිනා ගනිමින් 1957 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරී පත්විය. ඉන් අනතුරුව
1961 වර්ෂයේදී එම විශ්ව විද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරයකු බවට පත්විය. ඉන් අනතුරුව 1963 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ fulbright ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් බර්ත්ලි හි පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නූතන වාග් විද්‍යාව හදාරා ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තවත් වසරක් බ්‍රිතාන්‍ය වාග් විද්‍යාව හැදෑරුවේය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රථම වාග් විද්‍යා අංශය කොළඹ විශ්වවිද්‍යාලයෙ පිහිටුවාලීමෙන්ද නූතන වාග්විද්‍යාව අලලා සිංහලයෙන් පාඨ ග්රන්ථ ලිවීමද සිංහල ව්‍යාකරණයට නව මුහුණුවරක් එක් කිරීමද මෙතුමා කළ අනුස්මරණීය සේවයන් කිහිපයකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද, සාහිත්‍යශූරී හා සම්මානිත මහාචාර්ය යන සම්මානය ද, ශ්‍රී ලංකා රජයෙන් දේශමාන්‍ය, දේශනෙතෲ හා සාහිතරත්න යන සම්මානය ද, සබරගමුව විශ්ව විද්‍යාලයෙන් කීර්ති ශ්‍රී සම්මානය ද, කැලණිය විද්‍යාලංකාර පිරිවෙණෙන් භාෂා ශාස්ත්‍ර ශිරෝමණී සම්මානය ද, ඇතුළු තවත් අතින් සාඩම්බරණීය සම්මාන රැසකින් මෙතුමා පුද ලැබ තිබේ. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සුවිශේෂී වෙමින් තායිලන්ත රජයෙන් තායිලන්ත කළ්‍යාණමිත්‍ර යන සම්මානයද, දිනාගත් අතර ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් තායිලන්තය, කාම්බෝජය හා ලාඕස් යන රාජ්‍ය වල සිව් වසරකට වඩා සේවයෙහි නියුතු වී තිබේ. ඒ මෙතුමන් සිදුකළා වූ සේවාවන්ගෙන් කිහිපයක් පමණි. එසේම මෙතුමන්ගේ දෙසුමන් තුළින් දිවිය ඒකාලෝක කර ගනිමින් සුළවත් බවට පත්ව ඔවුන්ද පහනෙන් පහන දල්වන්නා සේ සුවහසක් බිහිකළ වියත් සිසුන් ගණනය කළහොත් හෙළ බස නම් වූ සදෙව් ලොවෙහි සක්දෙවිඳු මහැදුරු දිසානායකයන් මය. කුඩා කල සිටම ඔහුට තිබූ සිහිනයකි අනගාරික ධර්මපාල තුමා වැනි චරිතයක් බවට මතු යම් දවසක දී පත්වීම. එම සිහිනය ඔහුට ලැබුණේ සිංහල බෞද්ධයා නැමැති පුවත්පත නිරන්තරයෙන්ම කියවීම තුළිනි. එම පුවත්පත තුළින් ලද පන්නරය හරහා මෙතුමා දිනපොතක නොකඩවා එදිනෙදා දින සටහන් ලියන්නට පටන් ගත්තේය. අද වන තුරුත් එම කටයුත්ත මගනොහැර සිදුකිරීමට මෙම අසහාය පුද්ගලයා පුරුදු වී සිටි. ඇත්තෙන්ම ඔහු මෙරට ජාතියේ පිනට පහළ වූ දැවැන්ත චරිතයකි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
677 Views
Comments