NSB බැංකුවේ ලොකුම පුටුවේ හිඳගත් ඇය

මෙරට රජයේ බැංකු අතර වාණිජ පරමාර්ථයෙන් තොරව ඇරඹූ එකම බැංකුව මෙන්ම එම තත්ත්වයෙන්ම ක්‍රියාත්මක වන එකම බැංකුව වන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. වත්මන් රජය යටතේ එහි ප්‍රධානියා ලෙස පත්ව ආවේ කාන්තාවකි. එම බැංකුවේ සභාපති ලෙස කාන්තාවක් පත්තු දෙවැනි අවස්ථාව මෙය වන අතර බැංකුකරණය පිළිබඳව පුළුල් දැනුමක් ඇතිව ආ පළමු කාන්තාව වන්නේද ඇයයි.
ඇය නමින් කේෂලා ජයවර්ධන මහත්මියයි. කඳුරට සංවර්ධන බැංකුව මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙහෙයවමින් ඒවායෙහි සභාපතිනිය ලෙස ලැබූ පළපුරුද්ද ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස ලැබූ පරිචය ද සමඟ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලොකුම පුටුවේ හිඳගෙන සිටින්නේ ඇයයි. කබුළුමුල්ල ඇගේ උපන් ගමයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එම ගමේ දරුවන් දස දෙනෙකුගෙන් යුතු පවුලක සත්වෙනි දරුවා ලෙස ඇය උපත ලැබුවාය. ඇගේ ළමා කාලය මල් යහනාවක් නම් වූයේ නැත. රියදුරකු වන පියා උපයන සුළු මුදල අරපිරිමැස්මෙන් කළමනාකරණය කරමින් දරු පැටවුන්ගේ කුස පිරවීමේ රැකියාව කරගෙන ගිය ඇගේ මව සැබැවින්ම දිරිය මවක වූවාය. ගමේ පාසලෙන් සිප්සතර හැදෑරූ ඇය දාහතර හැවිරිදි වියෙහි සිටියදී පවුලේ ආර්ථික දැවැන්තයා වන තම පියාගේ වියෝ වීම වඩාත් උපේක්ෂාවෙන් දරා ගත්තාය. ඉගෙනීමට උපන් හපනියක් වූ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වරම් ලැබුවේ මුළු පවුලටම සතුටක් ගෙන දෙමිනි. එහිදී දෙවන පෙළ සාමාර්ථයක් සමඟ දේශපාලන විද්‍යාව උදෙසා උපාධියක් ලබා ගන්නා ලදී. ඉන්පසු ඇය කඳුරට සංවර්ධන බැංකුවේ සභාපතිනිය ලෙස නව මං පෙතකට අවතීර්ණ වූවාය. මධ්‍යම පළාත තුළ නව ව්‍යාපෘති රැසක් දියත් කරමින් ආර්ථික ප්‍රශ්න ඇති ජනතාවට වැටී සිටි තැනින් නැගී සිටින්නට අත දෙමින් ඇය කදුරට සංවර්ධන බැංකුව ඔස්සේ සුවිසල් මෙහෙයක් ඉටු කළාය. ඉඟුරු වැවීමට උපකාර කොට ඒවා බීම සකසන්නන්ට අලෙවි කිරීමටත්, කුරක්කන් වවා පිටි සකසන අයට අලෙවි කිරීමටත් කටයුතු ඇය විසින් යොදවන ලදී.
කුඩා කණ්ඩායම් හදමින් සහනාධාර මානසිකත්වයෙන් මිදෙන්න ට ස්වාධීනව නැගී සිටින්නට ඇය ජනතාවට අවස්ථාව සැලසුවා ය. ඉන්පසුව ඇය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට පත්විය. ඌව, සබරගමුව, දකුණ, මධ්‍යම හා රජරට සංවර්ධන බැංකු එක්කර හැදුනු මෙම බැංකුවේ දෙවැනි සභාපතිනිය ඇයයි. එම සේවා කාලයේදී ව්‍යවසායිකාවන් 250 දෙනෙකු ඉහළම මට්ටමට ගෙන එන්නට ඇය සමත් වූවාය. නව සභාපතිනිය වශයෙන් ඇය පවසන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මහා වෘක්ෂයක් වන අතර එහි ශක්තිය සාමාන්‍ය ජනතාව බවයි. ශාඛා 256ක් ඇති මෙම බැංකුවේ ගනුදෙනු තවදුරටත් ඉදිරියේදීත් ව්‍යාප්ත කරන්නට ඇය සූදානම්ය. ස්ත්‍රී ගිණුම් ද, පෙර පාසල් දහම් පාසල් ද ඔස්සේ දියත් කරන ඉතිරිකිරීම් ක්‍රමයක් සඳහා තැපැල්කරු හරහා සබඳතා ගෙනයාම ඇගේ ඉලක්කයයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
666 Views
Comments