වැවක කොටස් ගැන දැනුවත් වෙමු 2
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

වැවක කොටස් ගැන දැනුවත් වෙමු 2

වැවක කොටස් ගැන දැනුවත් වෙමු 2

වැවක කොටස් කිහිපයක් පිළිබඳව මෙහි පළමු ලිපියෙන් අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. වැවක ඇති ඉතිරි කොටස් කිහිපය පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.

පිටවාන

වැවේ අතිරික්ත ජලය පිට කිරීම සඳහා ඉතා ශක්තිමත්ව සකස් කළ නිර්මාණයකි. බොහෝ විට වැව් බැම්මේ කෙලවරක වැව් බැම්මේ මට්ටමට පහත් වන සේ ගල් පුවරු යොදා සකස් කර ඇත. අතිරික්ත ජලය පිටවාන ඔස්සේ බැස යාම නිසා වැව් බැම්ම ආරක්ෂා වෙයි. පිටවානෙන් නිකුත් වන ජලය කෙත් බිම් වලට හානි නොකර ඇළ මාර්ග ඔස්සේ ස්වභාවික දියබස්නාවකට හෝ වෙනත් වැවකට ඇතුළු වන සේ සකස් කර ඇත.

ඇතුලුවාන

බාහිර ජල සැපයුමක් මගින් වැවකට ජලය සපයන විට එම ඇළ වැවට විවෘත කරනු ලබන්නේ ඇතුලුවාන මගිනි. මෙය පිටවාන මෙන් වඩා ශක්තිමත් නිර්මාණයක් නොවේ. ජලමාර්ග දිගේ ගලා එන රොන් මඩ වැවට යාමට නොදී රඳවා ගැනීම ඇතුළුවාන මගින් සිදුවේ. බාහිර ජල සැපයුම නවතා දමා ඇතුළුවානට පිටින් ගොඩ ගැසෙන රොන් මඩ ඉවත් කළ හැකියි.

ඉස්වැටි

වැව ඉස්මත්තේ දළ බෑවුම් සහිත කඳු සහ උස් බිම් පාමුල දිගේ අඩි දෙකක් හෝ තුනක් උසට පස් වලින් වැටි සකස් කර ඇත. මේ මගින් බෑවුම් දිගේ ගලා එන රොන් මඩ වැවට ඒම වැළකීමත්, උස් බිම් පාමුල තෙතමනය ආරක්ෂා වීම නිසා ශාක වර්ධනයට යෝග්‍ය පරිසරයක් සකස් වීමත් සිදුවේ.

 

 

 


කළිඟු බැමි

වැවක පිටවානට පෙර වැවක ඇතුළතින් වැව් බැම්මට ලම්භකව වැව හරහා යොදා ඇති නොඋස් බැමි කළිඟු බැමි ලෙස හඳුන්වයි. පිටවානේ මට්ටමට වඩා මෙය පහත්. මෙය වැවේ ජලය පිරුණු අවස්ථාවල ජලයට යට වී පවතී.

තාවුල්ල

වැවේ උපරිම ජල මට්ටම සලකුණු කරන වැව වටා ඇති ප්‍රදේශය මේ නමින් හඳුන්වයි. මෙම ප්‍රදේශය පුරා සිසිල් ගුණයෙන් යුතු ශාඛ පැතිරී ඇත. නොයෙක් තෘණ වර්ග සහ කුඹුක් තිඹිරි වැනි ශාකද දක්නට ලැබේ.

කුළු වැව්

කඳු බෑවුම් ඔස්සේ ඇද හැලෙන කුඩා දිය පාරවල් පටු බැම්මක් යොදා හරස් කර ඇත. මේ නිසා කුඩා වැව් නිර්මාණය වේ. මෙම වැව් වලට සොරොව් නොමැත. ගල් යොදා සකස් කළ පැන්නුමකින් මහ වැව වෙත ජලය නිකුත් වේ. කුළු වැවට රොන් මඩ එකතු වීම නිසා මහ වැවට රොන් මඩ එකතු වීම වළකියි. ජලය රඳවා තබා ගැනීම නිසා වැව අසල ශාක වර්ධනය හොඳින් සිදු වන අතර උල්පත් ජලය ද වැඩිවේ.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

3120 Views

Comments

arrow-up