අතීත ශ්‍රී ලාංකිකයාගේ ප්‍රධාන ජීවනෝපාය වූ මඩ ගොවිතැන

හේන් වගාවට අමතරව අතීතයේ වඩාත් ප්‍රචලිතව පැවති වගා ක්‍රමය මඩ ගොවිතැනයි. කුඹුරු ගොවිතැන, වාරි ගොවිතැන යන නම්වලින්ද මඩ ගොවිතැන හඳුන්වන ලදී. මඩ ගොවිතැන බොහෝවිට වාරි ජල යෙන් සිදු කර ඇත. වැව් අමුණු ඉදි කර ඇළ මාර්ග ඔස්සේ කුඹුරුවලට ජලය ලබාගෙන තිබෙන අතර වර්ෂා ජලයෙන් කුඹුරු වගා කිරීම ද සුළු වශයෙන් සිදුවිය. අතීත ශ්‍රී ලංකාවේ පවුලක යැපීම සඳහා කුඹුරක් වගා කිරීමට පවුලේ ශ්‍රමය ප්‍රමාණවත් වුවත් ජනගහනය වැඩිවීමත් සමග වගා කළ බිම් ප්‍රමාණය ද වැඩි කිරීමට සිදුවිය.
අනුරාධපුර රාජධානි අවධියේ සෑම ගමකටම එක් වැවක් බැගින් තිබූ බව සොයාගෙන ඇත. මෙම වැව් ගම් වැව් යනුවෙන් හඳුන්වයි. පැරණි ශිලා ලිපි වල වැව් හමික, වපිහමික ලෙස හඳුන්වා ඇත්තේ ගම් වැව් තැනවූ අය හෝ එබඳු වැව් අයිතිව සිටි අය විය හැකිය. විශාල වශයෙන් කුඹුරු වගා කිරීමට ගම් වැව්වල ජලය ප්‍රමාණවත් නොවීම නිසා රජවරුන් විශාල වැව් අමුණු ඉදි කළහ. මින්නේරිය වැව තැනවූ මහසෙන් රජු පසු කාලයේදී මින්නේරි දෙවියන් ලෙස ප්‍රචලිත වූයේ වාරි කර්මාන්තයට කළ විශිෂ්ට සේවාව නිසාය. වී වගා කිරීම වර්ෂයකට දෙවරක් සිදු වී ඇත. ඒවා කන්න යනුවෙන් හඳුන්වයි. එවැනි කන්න දෙකක් පිළිබඳව අසන්නට ලැබෙන අතර ඒවා නම් මහ කන්නය සහ යල කන්නයයි. මෙම කන්න දෙකට අමතරව ඇතැම් විට මැද කන්නයක් ද වගා කර ඇත. වී වගා කිරීම සඳහා කුඹුරක් සකස් කර ගැනීමට ගොවියාට බොහෝ වෙහෙස වීමට සිදු විය. ඒ සඳහා ගොවියා සිදුකළ යුතු කාර්යයන් ගණනාවක් විය. මී ගවයන් බැඳි නගුල යොදා ගනිමින් කුඹුරු වගාවට සුදුසු පරිදි පසු ගුරු කිරීම සිදු කරයි. එය සී-සෑම ලෙසින් හැඳින්විණි. පස් පෙරළීම නිසා වල්පැල තැලී පොඩි වී ස්වාභාවිකවම පොහොර බවට පත්වේ. වර්තමානයේ භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර වලින් භූමියට හානි සිදු වුවත් පුරාණ සීසෑමෙ ක්‍රම පරිසරයට අහිතකර නොවීය. වගාවට අවශ්‍ය ජලය රඳවා තබා ගැනීමටත් ක්‍රමානුකූලව ජලය පිටතට යැවීමටත් සුදුසු පරිදි ගොවියා විසින් ලියදි සකස් කිරීම සිදු කරන ලදී. කුඹුර සකස් කර ගැනීමෙන් පසුව වී වර්ග වැපිරීම සිදු කෙරිණි. වී වගාවට වැඩි වශයෙන් කෘමීන් හා කුරුල්ලන් වැනි සතුන්ගෙන් හානි සිදුවේ. වී වැපිරීමේ සිට අස්වනු නෙළා ගන්නා තෙක් ගොයම ආරක්ෂා කර ගැනීමට විවිධ සාම්ප්‍රදායික ක්‍රම ද භාවිතා කර තිබේ. එනම් නියර වල සහ කුඹුරේ තැන තැන පොල්පිති සිටුවීම, තෙල් පොඟවන ලද පහන්තිර පත්තු කිරීම එවැනි සාම්ප්‍රදායික ක්‍රම කිහිපයකි. තෙල් පොඟවන ලද පහන්තිර කුඹුරේ පත්තු කිරීම සිදු කළේ රෙදි පාංකඩ ඉරා තිර ලෙස අඹරා මීතෙලෙන් පොගවා කදුරු කොටුවල බැඳීමෙනි.
මැස්සන් මර්දනය කිරීමට මෙම ස්වභාවික ක්‍රමය අතීතයේ ඉතාම ජනප්‍රිය විය. නගුල ,පෝරු, දෑකැති සහ උදලු වැනි උපකරණ කුඹුරු ගොවිතැන් කටයුතුවලදී යොදා ගෙන තිබේ. නිසි පරිදි ගොයම් පැසුණු විට කුඹුරේ අස්වැන්න නෙළීම අරඹා ඇත. අතීතයේදී එය මුළුමනින් ම සිදුවූයේ මිනිස් ශ්‍රමයෙන් වන අතර කපාගත් ගොයම් හරකුන් යොදාගෙන පාගා ලබාගත් වී පරිහරණයට ගන්නා තෙක් ආරක්ෂා සහිතව තැන්පත් කිරීම සඳහා කටයුතු කර ඇත. පැරැණි ගොවියෝ මේ සඳහා වී බිස්සක් නිර්මාණය කළහ. කැකුළු සහල් හා තැම්බූ සහල් යනුවෙන් වී සකස් කරගෙන ආහාරයට යොදා ගෙන ඇත. නොතැම්බූ වී කොටා කැකුළු සහල් සාදා ගන්නා අතර වී තම්බා වේලා කොටා ගැනීමෙන් තැම්බූ සහල් සාදාගනී. ඊළඟ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන තෙක් පුරාණ ගැමියෝ ධාන්‍ය වර්ග ආරක්ෂා කර ගැනීමට විවිධ ක්‍රම වේද අනුගමනය කළහ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල දැනටමත් වී ගොවිතැන සාර්ථකව සිදුකළ ද අතීතයේ මෙන් ශ්‍රමය බහුලව යොදා නොගැනේ. සියල්ලක්ම සිදු වන්නේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙනි. ශ්‍රී ලාංකික අපගේ අනන්‍යතාවය ලොවට ගෙන යන මහඟු කලාවක් වශයෙන් ද වී ගොවිතැන ගෞරවාදරයට පත් විය යුතුම වේ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1836 Views
Comments