මෙරට වසංගත රෝග පාලනයේ දැවැන්තයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

මෙරට වසංගත රෝග පාලනයේ දැවැන්තයා

මෙරට වසංගත රෝග පාලනයේ දැවැන්තයා

අපේ රටේ පමණක් නොව මුළු මහත් ලෝකයක්ම බිය ගන්වමින් නිසොල්මනේ ගලා යන වසංගත තත්වයකි නව කොරෝනා වෛරසය. මේ වන විටත් ඒ සඳහා කිසිදු සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගැනීමට ලෝක බලවතුන් පවා සමත්වී නොමැති අතර ශ්‍රී ලංකාව තුළ වෛරසය මැඬලීම සඳහා භාවිතා කරන ප්‍රධානම උපක්‍රමය වන්නේ පුද්ගලයන් අතර සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීමයි. මෙම කාල සීමාවේ අතිබහුතරයක් වැඩකරන ජනතාව ගෙදර සිටියත් මොහොතක්වත් ගෙදර සිටින්නට නොහැකි වූ පිරිසක්ද ඒ අතර වේ. එනම් වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියද එවන් තවත් සේවාවන් කිහිපයක්ද ඒ අතර වේ. අද ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය ජය ගනිමින් සිටින්නේ නම් එහි පූර්ණ ගෞරවය යා යුත්තේ එම පාර්ශවයන්ට බව කිව යුතුමයි. මේ අතරින් අයි ඩී එච් රෝහල නැත්නම් ජාතික බෝවන රෝග විද්‍යායතනය සුවිශේෂී වන්නේ එන ඕනෑම වසංගතයකට මුහුණ දෙන්නට සූදානමින් සිටින නිසාවෙනි. අපි අද ඒ ගැන කතා කරමු.

 

වර්තමානය වන විට අප කොරෝනා වසංගතය ගැන සාකච්ඡාවට බඳුන් කළ ද ජාත්‍යන්තරයෙන් එන බොහෝ වසංගත වලට මුහුණ දුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය අත්දැකීම් බහුල තැනකි. 2003 වර්ෂයේදී සාර්ස් රෝගයට සූදානම් වූ එම රෝහල, 2009 වර්ෂයේදී සූකර උණට සූදානම් වූයේය. එම අවස්ථාවේ දී රෝගීන් නමසිය අසූ හතක් වැනි ප්‍රමාණයක් රෝහලට ඇතුළත් කෙරුණු අතර එම රෝගය සහ කොරෝනා වෙනස් වන්නේ ඊට ඖෂධ තිබීමත් කොරෝනා රෝගයට ඖෂධ නොතිබීමත් නිසාවෙනි. ඉන්පසුව පැමිණි මාස් මෙන්ම ඉබෝලා නමැති රෝගී තත්ත්වයන්ද ලංකාව ආක්‍රමණය නොකළ නමුත් IDH රෝහල ඊට පෙර සූදානම් වූයේය. කෙසේ වෙතත් බෝවන රෝගයක් ලංකාවට පැමිණි වහාම මුලින්ම ඒ සඳහා මුහුණදීමට සිදුවන්නේ අයි ඩී එච් රෝහලටයි. සමස්ත සෞඛ්ය සේවයේ කැඩපතක් නොවුනත් කොරෝනා වසංගතයේ දී අනෙකුත් රෝහල් ද IDH රෝහල මෙන්ම කැප කරනු ලැබූ රෝහල් විය. ශ්‍රී ලංකාව තුල යුද්ධය පැවති කාලයේදී හමුදාව ඒ සඳහා පෙරමුණ රැගෙන කටයුතු කළ අතර මෙම රෝහලට පැවරී තිබුණේ තුවාල ලැබූ අයට ප්‍රතිකාර කිරීමටයි. නමුත් අද වන විට තත්වය හාත්පසින්ම වෙනස්. මේ මොහොතේදී අයි ඩී එච් රෝහලට පෙරමුණ ගන්නට සිදුවී තිබේ. ආරක්ෂක අංශ විසින් ඒ සඳහා අවශ්‍ය කරන සහාය පිටුපසින් සිට ලබා දීමක් සිදු කරයි.

 

PPE හෙවත් ආරක්ෂිත ඇඳුම් කට්ටල දවස පුරාම ඇඟලාගෙන සිටීම සැබවින්ම දුෂ්කර කාර්යයක්. නමුත් මෙම රෝහලේ කාර්ය මණ්ඩලය පවසන්නේ රෝගීන් වෙත සිදුකරන උපස්ථාන සේවාවන් අකුරටම කළ යුතු වන නිසාවෙන් අනිවාර්‍යයෙන්ම මෙම කට්ටලය ඇඳිය යුතු බවයි. මක් නිසාද ඔවුන් ඔවුන්ගෙන් සේවය ලබන සෑම කෙනෙකුටම වගකිව යුතු නිසාවෙනි. අයි ඩී එච් රෝහලේ මූලික අපේක්ෂාව වූයේ කොරෝනා රෝගය නිසා ශ්‍රී ලංකාව තුළ කිසිදු මරණයක් වාර්තා වීමට ඉඩ නොතැබීමයි. නමුත් විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයන් මෙන්ම මෙම රෝගය නොසලකා හැර අවසාන මොහොතේ රෝහල්ගත වුනු පුද්ගලයන් අතරින් මරණ කිහිපයක්ම වාර්තා වීම වැළැක්වීමට ඔවුන් සමත් වුණේ නැහැ. අයි ඩී එච් රෝහල පිළිබඳව කතා කිරීමේ දී එහි කාර්ය මණ්ඩලය පිළිබඳව වෙනමම කතා කළ යුතුයි. ඇත්තෙන්ම එම පුද්ගලයන් සිදු කරන්නේ මනුෂ්‍යත්වයට එහා ගිය සේවාවක්. එමෙන්ම ඔවුනට රට වෙනුවෙන් තම පෞද්ගලික ජීවිතයේ බොහෝ අවස්ථාවන් පවා කැප කිරීමට සිදු වී තිබේ. දින ගණනාවක් මාස ගණනාවක් තිස්සේ තම නිවෙස් වලට යාමට පවා නොහැකි වූ පුද්ගලයන්ද මෙහි සිටින බව ඔබ දන්නවාද. මෙහි සිටින වෛද්‍යවරයාගේ සිට රෝහල් කම්කරුවා දක්වා සියලුම දෙනා කිසිදු පැකිලීමකින් තොරව රෝගීන් වෙනුවෙන් තම සේවාව සැපයීම ඇත්තෙන්ම අගය කළ යුතුය. වෛද්‍යවරුන් හෙද හෙදියන් ඖෂධවේදීන් සාත්තු සේවකයන් කම්කරුවන් කෝකියන් ඇතුළු සෑම දෙනාම ශක්තිමත් දම්වැලක පුරුක් මෙන් බැඳෙමින් මෙම කොරෝනා වසංගතය මැඩලීමට IDH රෝහල තුළ ක්‍රියා කරයි. රෝගීන් ළඟට ගොස් ඖෂධ ලබා දෙන්නට, උණ බලන්නට රොබෝවරුන් නිර්මාණය කළද මෙහි සෞඛ්‍ය කාර්යය මණ්ඩලය රෝගීන් අසලට යාම කිසිවිටෙකත් නතර කළේ නම් නැහැ. රෝගීන් නිරෝගීභාවය ලබා පිටව යනු දකින ඔවුන් අද දකින සිහිනය වන්නේ මෙරටින් වාර්තාවන අවසන් කොරෝනා රෝගියා දැන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු වනවා දැකීමයි.

 

 

 

 

 

 

 

 

 

By : Sachini Sooriyaarachchi

Photo Source : Internet

views

584 Views

Comments

arrow-up