ඔබ දැනුවත් විය යුතුම වෙළඳපොළ අසමත්වීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ඔබ දැනුවත් විය යුතුම වෙළඳපොළ අසමත්වීම්

ඔබ දැනුවත් විය යුතුම වෙළඳපොළ අසමත්වීම්

වෙළඳපල අසමත් වීමක් යනු සමාජයේ යහපත උදෙසා හිග සම්පත් කාර්යක්ෂමව බෙදාහැරීමේහිලා වෙළඳපොළ යාන්ත්‍රණය අසමත්වීමයි. එනම් මිල යාන්ත්‍රණය මත ගනු ලබන තීරණ සමාජ යහපතට සෑමවිටම දායක නොවන බවයි. වෙළඳපොළ අසමත් වීම් ස්වරූප තුනකි. සම්පත් බෙදීයාම අකාර්යක්ශම වීම, සම්පත් බෙදීයාම අසාධාරණ ලෙස සිදුවීම, සාර්ව ආර්ථික අස්ථායිතා පැවතීම එම ස්වරූප තුනයි. මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වයේ ඇති ඌනතාවයන් හේතුකොටගෙන වෙළෙඳපොළ ආර්ථිකයක සම්පත් බෙදීයාමේ අකාර්යක්ශමතා දැකිය හැකියි. එවැනි අකාර්යක්ෂමතා අතර කරපු භාණ්ඩ නොසැපයීම, බාහිරතා හටගැනීම, වෙළඳපල තරඟයට බාධාකාරී තත්වයන් පැවතීම, සුභසාධන භාණ්ඩ ඌන නිෂ්පාදනය, අහිතකර භාණ්ඩ අධි නිෂ්පාදනය, පොදු සම්පත් පිළිබඳ හිමිකාරීත්වය නිශ්චිතව තහවුරු නොකිරීම, ඇතැම් භාණ්ඩ සහ සේවා සඳහා වෙළඳපළවල් බිහි නොවී පැවතීම යනාදිය සුලභව දක්නට ලැබේ.

පූර්ණ කාර්යක්ෂමතාවකින් ක්‍රියාත්මක වන වෙළෙඳපොළ ආර්ථිකයක වුවද මිල යාන්ත්‍රණයක් ඔස්සේ සිදුවන සම්පත් බෙදීයාම සමාජයීය වශයෙන් ප්‍රශස්ත නොවීම නිසා වෙළඳපල අසාර්ථකවීම් හටගනු ඇත. එනම් වෙළෙඳපොළ ආර්ථිකයක කුටුම්භ අතර ආදායම ධනය සාධාරණව බෙදී නොයාම සමාජ ආර්ථික සහ දේශපාලනික වශයෙන් අයහපත් වීම හේතුකොටගෙන වෙළෙඳපොළ ආර්ථික අසමත්වීම් වලින් යුක්ත වන බව මින් අදහස් වේ. වෙළෙඳපොළ ආර්ථිකයක වරින්වර ඇතිවන සමස්ත ඉල්ලුමේ හටගනු ලබන උච්ඡාවචනය හේතුකොටගෙන ප්‍රධාන සාර්ව ආර්ථික විචල්යයන්ගේ අයහපත් ප්‍රවණතා හටගැනීම සාර්ව ආර්ථික අස්ථායිතාව නම් වේ. මෙයා වෙළඳපල ආර්ථික පද්ධති වල දක්නට ලැබෙන නෛසර්ගික ලක්ෂණයකි. ඒවා අතර උද්ධමන වේගය ඉහළ යාම, ආර්තික පසුබැසීම සහ පරිහානිය, විරැකියාව ඉහල යාම සහ ගෙවුම්ශේෂ අසමතුලිතතා හටගැනීම කැපී පෙනේ. වෙළෙඳපොළ ආර්ථිකයක දක්නට ලැබෙන මෙවැනි උච්චාවචන පාලනය කිරීම සහ ඒවාට පිළියම් සෙවීම රජයේ ප්‍රධාන කාර්යයක් වේ.

 

 

 


නූතන ලෝකයේ සෑම වෙළෙඳපොළ ආර්ථිකයකම අසාර්ථක වීම් දක්නට ලැබෙන නිසා ආණ්ඩුවකට පැවරුන කාර්යභාරයක් පවතී. වෙළෙඳපොළ යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවයට අවශ්‍ය කරන නෛතික පදනම සහ සමාජයීය පරිසරය සම්පාදනය කිරීම, වෙළෙඳපොළ ආර්ථිකයක දක්නට ලැබෙන අකාර්යක්ශමතාවන් ඉවත්කොට කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, සම්පත් බෙදීයාමේ සාධාරණත්වය තහවුරු කිරීම, ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව ඇතිකිරීම එම ආණ්ඩුව වෙත පැවරෙන කාර්යභාරයයි. රටක ආර්ථික වෘද්ධි ප්‍රවර්ධනය ඉහළ නැංවීමට රජයකට විවිධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය හැකියි. ඒවා අතර පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සඳහා සානුබල සැපයීම, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අයවැයෙන් මුදල් ප්‍රතිපාදනය කිරීම, මානව සම්පත් සංවර්ධනය සඳහා රජය වියදම් කිරීම, ඉතුරුම් ප්‍රවර්ධනය සහ අයවැය හිඟය අඩු කර ගැනීම තුළින් ණය ලබාගැනීම අඩුකිරීමෙන් පෞද්ගලික ආයෝජන සඳහා සම්පත් මුදාහැරීම යනාදිය කැපී පෙනෙයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

1204 Views

Comments

arrow-up