වෙනස්ම සතුටක් කැන්දන ගිනිමැල සන්දර්ශන
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

වෙනස්ම සතුටක් කැන්දන ගිනිමැල සන්දර්ශන

වෙනස්ම සතුටක් කැන්දන ගිනිමැල සන්දර්ශන

ඈත අතීතයේදී ගින්දර දෙවියන් සේ සලකා පුද පූජා පවත්වන ලදී. ගස් වල ගෙඩි අලවර්ග දඩ මස් ආදිය අමුවෙන් ආහාරයට ගැනීමට පුරුදු වී සිටි ආදිවාසින් ගින්දර සොයා ගැනීමත් සමගම ආහාර තම්බා හෝ පුළුස්සා කෑමට හුරු වී ඇත. ආහාර රසවත්ව පිස ගැනීමට මෙන්ම දෛනික ජීවිතයේ නොයෙකුත් කටයුතු සඳහා ගින්දර අපට අත්‍යවශ්‍යයි. එළිමහන් ක්‍රියාකාරකම් වලදී ආහාර පිසීමට අමතරව විනෝදය සඳහා ගිනි මැල දැල්වීම මගින් ගින්දරට විශේෂ තැනක් හිමිවේ.

එළිමහන් ක්‍රියාකාරකම්, රාත්‍රි කඳවුරු, බාලදක්ෂ කඳවුරු සහ විනෝද සවාරි යනාදියේදී ගිනිමැල යොදා ගනී. ගිනිමැල දැල්වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක්ම පවතින බව ඔබ දන්නවාද. මක්නිසාද සැලසුමකින් තොරව ගිනිමැලයක් දැල්වීම අනතුරුදායක ක්‍රියාවක් වන බැවිනි. ගිනි මැලය දැල්වීමට බලාපොරොත්තුවන භූමියේ හිමිකරුවන්ගෙන් හෝ අදාළ අංශවලින් අවසර ලබාගැනීම ප්‍රථමයෙන්ම කළ යුතුයි. එමෙන්ම ඒ අවට ප්‍රජාව දැනුවත් කිරීමද කළ යුතු අතර කාලගුණික හා දේශගුණික සාධක පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම වටිනා දැව වර්ග භාවිතයට ගැනීමද නුසුදුසු වන අතර දර වල කුඩා කෘමින් සිටිනවා නම් ඉවත් කිරීමද කළ යුතුයි. ගිනිමැලේ දල්වන අවස්තාවේ දී සුළඟේ යන අන්දමින් ඇඳුම් පැළඳුම්වලින් සැරසී නොසිටීමද වැදගත් වන අතර හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට තෙත ගෝනියක්, ජල බදුන්, අමු කොළ අතු සූදානම්ව තබා ගැනීමද වැදගත්.

 

 

 


බොහෝ අවස්ථාවලදී ගිනිමැල දැල්වීම සැණකෙළියක ස්වරූපයෙන් ද සිදු කරනු ලැබේ. ඒවා ගිනිමැල සන්දර්ශන ලෙස හඳුන්වයි. ගිනිමැල සංදර්ශන සුලබව දැකගත හැකි වන්නේ බාලදක්ෂ කඳවුරු බැඳීම් තුළ, එළිමහන් ක්‍රියාකාරකම් සහ එළිමහන් කඳවුරු බැඳීම් තුළ වේ. ගිනිමැලේ සකස් කිරීමේදී එය කුඩාවටත් කිසිවෙකුට අවහිර නොවන සේ ගිනිමැලය වටා පහසුවෙන් ඉඳගෙන නැටුම් වැයුම් ඉදිරිපත් කර විනෝද වීමට හැකි වන සේ සකස් කර ගත යුතුයි. වගකිවයුතු පුද්ගලයකු යටතේ මනා විනයක් සහ ආරක්ෂාවක් සහිතව ගිනිමැල සන්දර්ශන පැවැත්විය යුතුයි. එසේම ගිනිමැල සංදර්ශනය මෙහෙයවීම සඳහා නායකයෙකුද පත්කළ යුතුයි. ගිනිමැල සංදර්ශනය පැයක් හෝ පැය එකහමාරකින් අවසන් කිරීමට කටයුතු සැලසුම් කළ යුතු අතර එක් එක් අංග සඳහා උපරිම ලෙස විනාඩි 5 ක කාලයක් ලබාදීම ප්‍රමාණවත්. A හැඩය ගිනිමැල, පරාවර්තන ගිනිමැළ, සෘජුකෝණාස්‍රාකාර ගිනිමැල, පිරමීඩ ගිනිමැල ආදී වශයෙන් ඔබට පහසු ආකාරයට ගිනිමැල සකස් කර ගැනීමට හැකියාවක් පවතී. සියලු දෙනාම එකට එක් වී සතුටින් සහයෝගයෙන් රසවිඳිය හැකි අංගයක් ලෙසද ගිනිමැල සන්දර්ශන පෙන්වා දෙන්නට පුළුවනි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

3088 Views

Comments

arrow-up